සම්පුර්ණ වසා දැමීමක් (lockdown) සිදු කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැත - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 04, 2020

රට තුල උද්ගතවී තිබෙන  COVID-19 හා සම්බන්ධ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි සතිය තුළදී සම්පූර්ණ වසා දැමීමක් (lockdown) ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  පැවසීය.

රට තුළ දින පහක සම්පූර්ණ වසා දැමීමක් (lockdown)  සිදුවිය හැකි බවට පැතිර යන කටකතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ,  පැතිරෙමින් පවතින මෙම කටකතා පිලිබදව අනවශ්‍ය බියක් ඇතිකර නොකරගන්නා ලෙසත් රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත්ය.

“පැතිරෙමින් පවත්නා COVID-19 වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ. COVID-19 පැතිරීමේ අවදානම අවම කර ගැනීමට මහජනතාවගේ සහාය ඇතිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට හැකි වූ පසු අපට ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇත”, ඔහු පැවසීය.

එවැනි කටකතා නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත  යුතු නොමැති  බවත්, ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කරන කටකතාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  වැඩිදුරටත් පැවසීය.