ජනපතිගේ ආරාධනයෙන් ඉන්දීය අගමැති හෙට දිවයිනට

ජුනි 08, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වශයෙන් පසුගිය 30 වනදා දිවුරුම් දීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙය වීම විශේෂත්වයකි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය හෙට දහවල් ජනාධිපති කාර්යාලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග වන අතර එහිදී කළ නිල ආරාධනය පරිදි එතුමා මෙම සංචාරයට එක් වෙයි.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය