රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සිව්වැන්න හෙට මුලතිව් දිස්ති‍්‍රක්කයේ දී ඇරඹේ

ජුනි 03, 2019

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ සිව්වැන්න හෙට (03) මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ.

ජනාධිපති කාර්යාලය සහ විවිධ අමාත්‍යාංශ යටතේ කි‍්‍රයාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ සුබ සාධන වැඩසටහන් වඩා සකී‍්‍රය කරමින් ජනතාවට උපරිම ප‍්‍රතිලාභ ලබාදීමත්, දීර්ඝ කාලයක් පුරා පවතින මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහාත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය යටතේ වැඩසටහන කි‍්‍රයාත්මක ය.

ජූනි 08 වන දා දක්වා එය මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් කි‍්‍රයාත්මක කෙරෙන අතර, දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හය තුළ හඳුනාගත් මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් වැඩසටහන් රැසක් ඒ අනුව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

වකුගඩු රෝග නිවාරණයට අදාළ විශේෂ සංවර්ධන වැඩසටහන් රැසක් සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ කි‍්‍රයාත්මක කිරීමට වගුකඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය කටයුතු යොදා තිබෙන අතර, තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු. මිලියන 37ක වියදමින් ඉදිකරන ලද වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය ජූනි 08 වන දා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාප්ති උත්සවයට සමගාමී ව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

මේ අතර වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වකුගඩු රෝගි පවුල් 300ක් සඳහා වස විසෙන් තොර සහල් සලාක ලබාදීම, මුලතිව් දිස්ති‍්‍රක්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි 10,000ක් පමණ පිරිසක් සඳහා වකුගඩු රෝගය පෙර හඳුනා ගැනීමේ සායන 28ක් පැවැත්වීම, සහ වකුගඩු රෝග දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු වේ. තව ද රුපියල් මිලියන 16ක් පමණ වැය කර ප‍්‍රතිලාභී පවුල් 2500කට පමණ සෙත සැලසීමට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 10ක් ස්ථාපිත කිරීම, වකුගඩු රෝගි අවදානම සහිත ප‍්‍රදේශවල සිටින වකුගඩු රෝගීන්ගේ පවුල් සඳහා රුපියල් මිලියන 6.7ක් පමණ වැය කර ප‍්‍රතිලාභීන් 8000කට පමණ සහන සැලසීමට හැකි ගෘහස්ථ ජල පෙරණ උපකරණ ලබාදදීම ද සිදු කෙරේ.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ද විශේෂ වැඩසටහන් රැසක් දිස්ති‍්‍රක්කය පුරා සැලසුම් කර තිබේ.

කෘෂිකාර්මික සහ රුක් රෝපණ වැඩසටහන් සඳහා ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන අතර පැළ බෙදා දීම, ආහාර බෝග බීජ බෙදා දීම ඇතුළු වැඩසටහන් දිස්ති‍්‍රක්කය පුරා සංවිධානය කර ඇත.

තම ගැටලු ජනාධිපතිතුමාට සෘජුව ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙමින් කි‍්‍රයාත්මක ‘ජනපතිට කියන්න’ වැඩසටහන ද 03 වන සඳුදා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද, 04 වන අඟහරුවාදා ඔඞ්ඩුසුඩාන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී, 05 වන බදාදා මන්තායි නැගෙනහිර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී, 06 වන බ‍්‍රහස්පතින්දා තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, 07 වන සිකුරාදා පෙ.ව 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සහ ප.ව 1.00 සිට ප.ව 4.00 දක්වා මැරිටයිම්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කි‍්‍රයාත්මක කෙරේ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය