වැලිසර නාවික හමුදා කඳවුරේ නැවියන් සඳහා ඉතා කඩිනමින් PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරේ - නාවික හමුදා ප්‍රධානී

අප්‍රේල් 24, 2020

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයින් සඳහා සිදුකරන PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඳවුර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.

අද (අපේ‍්‍රල් 24) දින තවත් කොරෝනා වෛරසය ආසාදිත නැවියන්  30 දෙනෙකු හදුනාගෙන ඇත. මුළු කොරෝනා වෛරසය ආසාදිත නැවියන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති අතර, හෙට සිට දිනකට PCR පරීක්ෂණ 400 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙන බව ඔහු defence.lk වෙත පැවසීය.
 
“කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දැනටමත් ක්ෂණික පියවර ගෙන ඇති බැවින් මෙම තත්වය පිළිබඳව අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත් නොවන ලෙස අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”  වයිස් අද්මිරාල් ද සිල්වා පැවසීය.

නැවියන් ඔවුන්ගේ භටනිවාස වල රදවා තැබීමටත් , නිවාඩු ලබා සිටින සහ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති නැවියන් නැවත නාවික කඳවුරට ගෙන ඒමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අවශ්‍ය සියලු පූර්වාරක්ෂක පියවරයන් ගෙන ඇති බව ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ නාවික හමුදා සාමාජිකයින් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ ඔවුන්ගේ පවුල් (වැලිසර නාවික කඳවුර තුල විවාහක නිවාස 194 පිහිටා ඇත) කඳවුර තුළ හුදකලා කර ඇති බවයි.

අද නිකුත් කරන සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

                                                                                                  මාධ්‍ය නිවේදනය
 
පසුගිය දිනෙක නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනසිටි සහ ඔහු රාජකාරි සිදුකල කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමඟ ගැවසුනු සියළු පුද්ගලයින් PCR පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරන ලදි.
 
එමෙන්ම, මෙම සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික කඳවුරු පරිශ්‍රය හුදෙකලා කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එහි සිටින 4000 ආසන්න නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් (වැලිසර නාවික කඳවුර තුල විවාහක නිවාස 194 පිහිටා ඇත) ඒ අනුව කඳවුර තුලත් හුදෙකලා කර ප්‍රමුඛත්වය මත වෛරසය ආසාධිත පරීක්‍ෂණයන්හට යොමු කිරීමට කටයුතු යෙදා ඇත. තවද, එහි සේවය කල නිවාඩු මත සිටින නාවික පුද්ගලයින් අතුරින් ආසාධිත නාවිකයින් ඇසුරු කිරීම මත හදුනාගත් ප්‍රමාණයක් නැවත කඳවුර තුලට ගෙන්වාගෙන ඇත.
 
මෙම තත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාව ආයතනික නිරෝධාන කටයුතු වල දැනටමත් යෙදී ඇති අතර, එම කටයුතු සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම මත සැළසුම් සහගතව සිදු වෙමින් පවතී
 
එබැවින් ශ්‍රී ලංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන අතර, නිවාඩු මත තම නිවාස වල සිටින නාවික පුද්ගලයින් එලෙසම තැබීමටත්, වැලිසර නාවික හමුදා කඳවුරේදී සෞඛ්‍ය පරීක්‍ෂණ පවත්වා පැවති සියළු නාවික මෙහෙයුම් නැවත පටන් ගැනීමටත්, හදුනා ගත් වෛරසය ආසාධිතයින් රෝහල් ගත කර ප්‍රථිකාර කිරීමටත් කටයුතු කර ඇත.
 
එමෙන්ම, නිවාඩු මත හෝ රාජකාරීමය හේතූන් මත කඳවුරු වලින් බැහැරව සිටින නාවික පුද්ගලයින්ගේ තොරතුරු නාවික හමුදා මූලස්ථානය සතුව පවතී. නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු දැනගැනීම‍ට අවශ්‍ය නම් පහත දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වීමේන් ඕනෑම අයෙකුට ඔවුන් පිලිබඳ තොරතුරු ලබා ගත හැක.
 
මෙහෙයුම් මැදිරිය නාවික හමුදා මුලස්ථානය
            
    දුරකථන අංකය            -           0112445368/ 0117192251
    ෆැක්ස් අංකය               -           0112441454
    වට්ස් ඇප්                    -           0772201365
    විද්‍යුත් තැපෑල              -            nhqdno@yahoo.com