සමස්තයක් ලෙස COVID-19 පැතිරීම පාලනය වෙමින් පවතින බව ජනාධිපති පවසයි

අප්‍රේල් 30, 2020

සමස්තයක් ලෙස  COVID-19 පැතිරීම  පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ පැවසීය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ බදාදා (අප්‍රේල් 29) දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) වෙත වෛරස් තත්ත්වය සදහා  ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය පැහැදිලි කරමිනි.

පසුගිය දින කිහිපය තුළ හදිසියේම ආසාදිතයින් වැඩිවීමට හේතු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව පැවසීය.

වැඩබලන තානාපති හු වෙයි ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

රබර් සහල් ගිවිසුමේ සිට චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සිහිපත් කළ ජනාධිපති රාජපක්ෂ, ත්‍රස්තවාදී ගැටුම් හා පශ්චාත් ගැටුම් සාමය තුල මෙරට සංවර්ධන ක්‍රියාදාමය අතරතුර චීනය ශ්‍රී ලංකාව සමඟ සිටි බව සිහිපත් කළේය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි ලූඕ ද එක්ව සිටියහ.