ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූවකු අත්අඩංගුවට

ජුනි 01, 2019

මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ සහරාන් ගේ කල්මුනේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කල අයෙකු මීට දින කිහිපයකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ෂාහුල් හමීඩ් හමිස් මොහොමඩ් නොහොත් කල්මුනේ සියාම් නොහොත් හෙවත් අබු හසන් නමැත්තා පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන ඇත. සිකුරාදා (මැයි 31) සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව අනාවරණය කළේය.

කල්මුණේ ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කල ආරක්ෂිත නිවෙස් සපයා දී ඇත්තේ මෙම පුද්ගලයා විසින් බවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සමන්තුරේ ප්‍රදේශයේ නිවසක බෝම්බ පුපුරවා ගනිමින් ත්‍රස්තවාදීන් පිරිසක් මියයන ලද්දේ ද මොහු විසින් සපයා තිබු ආරක්‍ෂිත නිවසකයි. සමන්තුරේ සෙන්නල් ග්‍රාමයේ පිහිටි නිවසක් ද, නින්දවූර් සහ අටලච්චේනයි හි පිහිටි තවත් නිවාස දෙකක්ද මොහු විසින් ත්‍රස්තවාදීන්ට සපයාදුන් නිවාස ලෙස හදුනාගෙන ඇත.

මේ අතර, සිකුරාදා (මැයි 31) දින පාලමුනායි කලපුවේ තිබී ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන තිබේ. මේ ලැප්ටොප් පරිගණකය සහරාන් විසින් භාවිතා කර ඇති බවට සැක කෙරේ. මේ පිළිබඳව බලධාරින් විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි.