ත්‍රිවිධ හමුදාවන්ට ආශිර්වාද කරමින් එළබෙන පොහොය දිනයේදී ‘අධිෂ්ඨාන පහන්’ දල්වන ලෙස ‘සෙනෙහස’ ඉල්ලා සිටී

මැයි 05, 2020

අපේ කාලයේ රණවිරුවන් විසින් සිදු කරන සේවය අගයමින් ආශීර්වාද කිරීම සදහා මැයි 7 වන වෙසක් පොහෝ දින රණවිරු සේවා අධිකාරිය සහ ‘සෙනෙහස’ කේන්ද්‍රය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

COVID-19 පැතිරීම වැළැක්වීම සදහා කටයුතු කරමින් සිටියදී කොරෝනා වෛරසයට ගොදුරු වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ආශිර්වාද පතා වෙසක් පුන් පොහෝ දින දිවයිනේ සෑම නිවසකම ‘අධිෂ්ඨාන පහන්’ තේමාව යටතේ පහනක් දැල්වීමට  ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රණවිරු සේවා අධිකාරිය සහ ‘සෙනෙහස’ කේන්ද්‍රය  විසින් සැලසුම් කර ඇත .

කොරෝනා වෛරසය ආසාදිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සෙත් පතමින් සහ ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමින් මැයි 7 වන දින සවස 6.15 ට තම නිවෙස්වල ‘අධිෂ්ඨාන පහන්’ දල්වන ලෙස සංවිධායකයින් සියලු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

රණවිර සේවා අධිකාරියේ සහ ‘සෙනෙහස’ කේන්ද්‍රයේ උප සභාපතිනි සෝනියා කොට්ටෙගොඩ ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ආසාදිතයින් බවට පත් වී ඇත්තේ රට සහ මහජනතාව මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා ඔවුන්ගේ පුද්ගලික සෞඛ්‍යආරක්ෂාවට ඇතිවිය හැකි අවදානමද නොතකා කටයුතු කිරීම නිසා බව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

“ඔවුන් විපතට පත් වූ මොහොතේදී ඔවුනට උපහාර දැක්වීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකම හා වගකීම වන අතර ඔවුන්ගේ ජාතික මෙහෙවර අනාගතයේදීත් එලෙසම ඉදිරියට ගෙන යාම සදහා ඔවුන් දිරිමත් කල යුතුය.” සෝනියා කෝට්ටේගොඩ පැවසීය.

රණවිර සේවා අධිකාරිය සහ ‘සෙනෙහස’ කේන්ද්‍රය මෙම වැඩසටහන තුලින් වසංගතය මෙරටින් තුරන් කිරීම සදහා නොසැලෙන කැපවීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවාවන්හි සියලුම සාමාජිකයින් විසින් සිදු කරන සේවය වෙනුවෙන් ජාතියේ කෘතඥතාව පළ කිරීමට බලාපොරොත්තු වේ.

“කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පෙරමුණ ගෙන සටන් වදින ආරක්ෂක සහ සෞඛ්‍ය නිලධාරීන්ට ආශීර්වාද කිරීම සඳහාත්, ඔවුන්ගේ ප්‍රජා වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන් දිරිමත් කිරීම සඳහාත් අපි මෙම වැඩසටහන සංවිධානය කළෙමු. මෙම වැඩසටහන තුළින් රටට සහ රට වැසි සියළු ජනතාවටද ආශීර්වාද කිරීම අපගේ බලාපොරොත්තුවයි” කෝට්ටේගොඩ වැඩි දුරටත් පැවසීය.