නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කිරීම පිළිබඳ වන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

මැයි 12, 2020

කොරෝනා වෛරසය  ආසාදිත නැවියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට ඇතැම් මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ  පළමු කොරෝනා වෛරසය  ආසාදිත නාවිකයා අප්‍රේල් 22 වන දින හඳුනාගත් දා සිට, වැලිසර  නාවික හමුදා පරිශ්‍රයේ රාජකාරි  කරන නාවික භටයින් සඳහා නාවික හමුදාව විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පුළුල් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ කොරෝනා වෛරසය පැතිරීම හා සම්බන්ධ සැබෑ තත්වය නාවික හමුදාව විසින් වසන් කරන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය. තවද නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගේ  කොරෝනා වෛරසය  ආසාදිත ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමේ  ක්‍රියාවලිය දැඩි විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවද පැවසීය.

ආසාදිත වුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයින් සොයා ගැනීම තවදුරටත් සිදු කරමින් පවතින අතර, පීසීආර් පරීක්ෂණ මගින් කොරෝනා වෛරසය  ආසාදිත බව හඳුනාගෙන ඇති නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවනු ලැබේ.

කෙසේ වෙතත්, වැලිසර නාවික හමුදා පරිශ්‍රයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම ආරම්භයේ සිටම මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික  හමුදාව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග  ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය තිලංග පතිරණ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ  කාර්යාලයේ නිලධාරියෙක් විසින් නාවික හමුදා පරිශ්‍රය පරීක්ෂා කළහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර රජය විසින් පුහුණු කරන ලද නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඊට අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා නාවික හමුදා පරිශ්‍රයේ රදවා ඇත.

ආසාධිත/ආසාධිත නොමැති අවස්ථා දෙකෙහිම තොරතුරු ඇතුළුව නාවික භටයින් වෙනුවෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ පිළිබඳ තොරතුරුද COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

“කොරෝනා වෛරසය  ආසාදිත නැවියන් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සහ එහි තත්ත්වය පිලිබදව වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සෞඛ්‍ය හා අනෙකුත් වගකිවයුතු බලධාරීන් සමඟ අවශ්‍ය සියලු තොරතුරු හුවමාරු කරගනිමින් සිටී.” යැයි ආරක්‍ෂක ලේකම් පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂා කර ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති නාවිකයින්  පිලිබදව සියලු තොරතුරු ලබා දීම  සදහා කැපවී සිටින බව ඔහු පැවසීය. කොරෝනා  වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වන  රජයේ යාන්ත්‍රණයට සහාය වෙමින් වගකිවයුතු රජයේ සංවිධානයක් ලෙස කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය, මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්  කාර්යාලය, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ වගකිවයුතු රජයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද  ඔහු පැවසීය.  

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කරමින් නාවික හමුදාව  කොරෝනා වෛරසය ආසාදනය වුවන් පිළිබඳ කිසිදු තොරතුරක් සඟවා නොගන්නා බව මේජර් ජෙනරාල් ගුණරත්න සදහන් කළේය.

 

Alternative text - include a link to the PDF!