COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල ‘ඉටුකම’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අද සිදුකරන ලදි

මැයි 13, 2020

COVID-19 පැතිරීම අවම කිරීම හා ඒ ආශ්‍රිත සමාජ සුභසාධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහයෝගය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුලපුරමින්  ‘ඉටුකම’ වැඩසටහන අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී දියත් කරන ලදී.

ජනාධිපති අරමුදලේ රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සමඟින් පිහිටුවන ලද මෙම අරමුදල  මගින් COVID-19 නිසා අවදානමට ලක්වන ජනතාවට ආධාර කිරීම සඳහා රජයට හැකි වන අතරම සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම මෙමගින් සිදු කරයි.  

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා මුදල් රැස් කිරීමේ ‘ඉටුකම’ මාධ්‍ය ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් අද (මැයි 13) දින මේජර් ජෙනරාල් ගුණරත්න යුධ සමයේ ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන  විසින්  දැක්වූ සහයෝගය අගය කළේය.  

“අපි වෙනුවෙන් අපි’ දැන්වීම මුළු රටේම ජනතාව ආකර්ෂණය කර ගත්තේ රට පුරා මාධ්‍ය විසින් පණිවුඩය ගෙන ගිය නිසාවෙන් වන අතර එය ජනතාව තුළ මහත් උනන්දුවක් ඇති කරමින් තම දරුවන් යුද්ධ හමුදාවට යැවීමට පවා දෙමව්පියන් ක්‍රියා කලා,” යැයි පැවසූ ඔහු ඉටුකම මාධ්‍ය ව්‍යාපාරයටද ඒ හා සමාන සහයෝගයක් ලබා දෙන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.   

“COVID-19 වෛරසය හේතුවෙන් රට දැඩි දුෂ්කරතාවයකට පත්වූ නමුත් වර්තමාන දුරදර්ශි නායකත්වය යටතේ සිදු කල පෙර සූදානම නිසා ආරක්ෂක හමුදා, පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ අනෙකුත් විවිධ ආයතනවල සහාය ඇතිව වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි වුනා,” ආරක්ෂක ලේකම් පැවසීය.  

විවිධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් මෙම අරමුදලට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර අරමුදල වැඩිදියුණු කිරීම මගින් ඕනෑම ආකාරයක අනාගත තර්ජනයන්ට මුහුණ දීම සඳහා සිදු කරනු ලබන ඉතිරිකිරීමක් වනු ඇතැයි මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.   

“අරමුදල සදහා වැඩි දායකත්වයක් ලබා ගැනීම සඳහා ‘ඉටුකම’ වෙළඳ දැන්වීම් මාලාවක් අපි සූදානම් කර තිබෙනවා.මේ සදහා භාතිය, උමාරියා, සන්තුෂ් සහ Triad අපට ඉමහත් සහයෝගයක් දැක්වූවා. මෙම දැන්වීමට උපරිම ප්‍රචාරයක් ලබා දෙමින් මෙම ජාතික ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අප හට  සහයෝගය දෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා,” රැස්වීම සදහා පැමිණ සිටි මාධ්‍ය ප්‍රධානීන්ගෙන්  ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියේය.

වර්තමාන සෞඛ්‍ය සේවාවන්හි අඩුපාඩු අවම කිරීම මගින් බෝවන රෝග සඳහා වන ජාතික සූදානම වැඩි දියුණු කිරීමට භාවිතා වන ආයෝජනයන් සඳහා ද මෙම අරමුදල යොදා ගැනේ.

එමගින් COVID-19 වසංගතය මගින් ඇති කරන තීරණාත්මක සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති අතර හදිසි සෞඛ්‍ය අවස්ථාවන් සඳහා වන ශ්‍රී ලංකාවේ දිගුකාලීන සූදානම වැඩි දියුණු කරනු ඇත.  

ජනාධිපති මහලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් මේජර් ජෙනරාල් ගුණරත්න සියලු මාධ්‍ය ප්‍රධානීන්, සේවා සපයන්නන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ට මෙම අවස්ථාව සදහා සහභාගී වීම පිලිබදව ස්තූතිවන්ත විය.