සියලුම ආගම්වල සහ ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

මැයි 14, 2020
  • පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන විනාශ කිරීම්වලට සහ ආක්‍රමණය කිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව පවසයි.
  • මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් පිහිටුවා ඇත.

පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ  ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්‍ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත අද (මැයි 14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මෙම මේ බවට සහතිකය විය.

රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට  සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලාවල පලවූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදි.

ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් අනුව පොතුවිල් හි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් ස්ථානගත කර ඇත.

විහාර භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු විහාරස්ථානාධිපති පුජ්‍ය  වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමි වෙත දැනුම් දුන්නේය. එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව විස්තර කළ ඔහු, අදාළ බලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා කඩිනමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පැවසීය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ව සිටි සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප්‍රකාශයට පත් කරන ලද අක්කර 72 ක විහාර භුමි ප්‍රමාණය 1965 දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කළ බව පූජ්‍ය ඉන්ද්‍රතිස්ස හිමි ආරක්‍ෂක ලේකම් වෙත දන්වා සිටියේය.

 “මේ වන විට එම ඉඩමෙහි පවුල් 42 ක් පදිංචිව සිටින අතර ඔවුන් පන්සලේ ඉතිරි ඉඩම් ද අත්පත් කරගනිමින් සිටිනවා” විහාරාධිපති හිමියන් මේ බව පවසමින් මෙම ගැටළුව කඩිනමින් විසඳා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂගේ උපදෙස් මත මෙම ඉහල පෙලේ ආරක්‍ෂක අංශ දූත පිරිස මුහුදු-මහා විහාරය සහ දීඝවාපිය යන ප්‍රදේශවල සංචාරය කළහ.

“හිතාමතාම හෝ වෙනයම් ආකාරයකින් ජාතික උරුමයන්ට සිදුකරනු ලබන හානිය අනුමත නොකරන අතරම පවත්නා නීතිරාමුව තුළ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා” ආරක්‍ෂක ලේකම් පැවසීය.

ආගම හා ජනවාර්ගිකත්වය නොසලකා රටේ අනාගත පරම්පරාවේ යහපත උදෙසා ජාතික උරුමයන් වන පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ආරක්‍ෂා කරන බව ඔහු නැවත අවධාරණය කළේය.

“පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ  ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන වලට සිදුකරන ලද විනාශයන් සහ ආක්‍රමණයන්හි වැඩි වීමක් දක්නට ඇත. නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීද සමහර වැදගත් ආගමික ස්ථාන ආක්‍රමණය කරන බව දැනගැනීමට ලැබීම අවාසනාවකි” ඔහු පවසා සිටියේය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක ලේකම් සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු එක් වුහ.