යාපනයේ අසරණ පවුලක් සඳහා හමුදාව නිවසක් ඉදිකරයි

මැයි 21, 2020

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අළුතින් ඉදිකරන ලද නිවසක්, වඩුක්කොඩෙයිහි අඩු ආදායම්ලාභී පවුලක් වෙත ඊයේ (මැයි 20) දින භාර දෙනු  ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් මොහාන් උත්තරාජිනී වෙත නිවස භාර දුන්නේය.

ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් යෙදවූයේ යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසිනි. 513 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය යොදා ගනිමින් නව නිවස ඉදිකර තිබිණි.

මීට සමගාමීව, තාබොතරන් විශ්වනාදන් විසින් පරිත්‍යාග කරන ලද නළ ළිඳක් ද පවුලේ අයට භාර දෙන ලදී.

මෙම අවස්ථාවට බටහිර වලිකාමන්හි ප්‍රාදේශීය ලේකම්වරයා ද සහභාගී විය.