ධීවර ප්‍රජාවන් ධිවර කටයුතු වල යෙදීමේදී සුපරීක්ෂාකාරී වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 29, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) දින උදෑසන 05.30 ට ඉදිරි පැය 24 සදහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නේ ගාල්ල සිට දකුණු මුහුදු ප්‍රදේශය හරහා මඩකලපුව දක්වාත් සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් වන මුහුදු ප්‍රදේශ පිලිබදව සෝදිසියෙන් සිටින ලෙසත් ඉදිරි පැය 24 තුළ සුළගේ වේගය පැයට කි.මී. 70-80 දක්වා වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් පවසා සිටී.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු  ප්‍රදේශවල  මුහුදු රළ මීටර් 2.0  සිට 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ අනාවැකි අනතුරු අඟවයි .

පුත්තලම සිට දකුණු මුහුදු ප්‍රදේශය හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සමහර ස්ථානවල තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සහ තාවකාලික තද සුළං සහිත ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකිය.