ශ්‍රී ලංකා නාවික හමුදාව ඓතිහාසික මුහුදු මහා විහාරයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

මැයි 29, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඓතිහාසික මුහුදු මහා විහාරයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (28) දින ස්ථාපිත කරන ලදි.

ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පුරා පැවති පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස ප්‍රදේශවාසී ජනතාවගේ  ප්‍රයෝජනය සඳහා ගිණිකොන නාවික විධානය විසින් ස්ථාපිත කරන ලද  නව ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය දක්වා ඇත.

ගරුතර මහ සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කරන ලදි. මෙම  ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශ වාසී ජනතාවට පමණක් නොව මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වී සිටින ප්‍රදේශයේ ජනතාවට මෙන්ම විහාරය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවයද සපුරා ගැනීමට හැකියාව ඇත.

ඊයේ පැවති විවෘත කිරීමේ උත්සවය සදහා මුහුදු මහා විහාරාධිපති හිමියන්, පොතුවිල් ප්‍රාදේශීය ලේකම්, නාවික හමුදා නිලධාරීන්, ප්‍රදේශ වාසීන් සහ බැතිමතුන් සහභාගී වූහ.