ගාල්ල වරායේදී විදේශීය නෞකා කාර්ය මණ්ඩල හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියට නාවික හමුදා සහය

මැයි 29, 2020

බෙල්ජියමේ, බ්‍රසල්ස් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි Boeing 737 ගුවන් යානයෙන් පැමිණි විදේශීය නැව් තුනකට අයත් පිරිසක් ගාලු වරායේදී නැව්වලට මාරු කිරීමට ඊයේ (28) දින ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

එම නෞකාවල රැඳී සිටි විදේශීය කාර්ය මණ්ඩලය නැවත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා රැගෙන ගොස්  සිය ගමනාන්ත කරා ළඟා වීමට අවස්ථාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සලසන ලදි. ඒ අනුව අදාළ කාර්ය මණ්ඩල හුවමාරු ක්‍රියාවලියේදී ඔවුන්ගෙන් 35 දෙනෙකු දිවයිනෙන් පිටව ගොස් ඇත.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව, දිවයිනට පැමිණි සාමාජිකයින් 41 දෙනා ගාල්ල වරායේ තිබු නෞකා වෙත පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් විෂබීජහරණයට ලක් කර තිබුණි.