අන්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ විශාල කාර්යභාරයක් විශේෂ කාර්ය බළකායට පැවරී ඇත - ආරක්‍ෂක ලේකම්

මැයි 29, 2020

•    මත්ද්‍රව්‍ය මාෆියාව මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බළකායට විශාල කාර්යභාරයක් පැවරී ඇත.
•    රැඩිකල්කරනය වූ ආගමික අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීමේදී විශේෂ කාර්ය බළකායට වැඩි වගකීමක්.
•    එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී විශේෂ කාර්ය බළකා භටයන් සිදුකළ පරිත්‍යාගයන් අගය කෙරේ.

අන්තවාදය හා මත්ද්‍රව්‍ය මාෆියාව ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකායට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වූ පසු විශේෂ කාර්ය බළකා මුලස්ථානය වෙත සිදුකල සිය පළමු  සංචාරයේදී විශේෂ කාර්ය බළකා භටයින් අමතමින් ජාතික ආරක්‍ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ඔවුන් විසින් ලබාදුන් දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා අගය කළේය.   

පොලිසියේ විශේෂ බලකාය වන විශේෂ කාර්ය බළකාය නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියක් ලෙස පමණක් නොව සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ පුහුණුව ලත් බලකායක් ලෙස ද ඉහළ ඇගයීමකට ලක්ව ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.  

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහභාගී වූ අතර විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක විසින් ආරක්‍ෂක ලේකම් වරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙත සම්මාන ආචාර පෙලපාලියක් පිළිගන්වන ලදි.  

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් විශේෂ කාර්ය බලකා මූලස්ථානය වෙත සිදුකල පළමු නිල සංචාරය මෙයයි.  

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ජීවිත හා අත් පා කැප කරමින් සහ බරපතල තුවාල ලැබූ 700 කට අධික විශේෂ කාර්ය බලකා භටයින් වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කරමින් ඔහු පවසා සිටියේ, එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ වසර 30 ක් පුරා පැවති යුද්ධයේ දී විශේෂ කාර්ය බලකාය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ බවයි.   

යුද්ධ හමුදා නිලධාරියෙකු ලෙස දශක තුනක සිය අත්දැකීම් සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා, විශේෂ කාර්ය බලකා භට පිරිස් විශේෂ පුහුණුව ලත් සොල්දාදුවන් ලෙස යුධ කාලසීමාවේදී සිය වෘත්තීයභාවය විදහා දැක්වූ අතර මත්ද්‍රව්‍ය වලට එරෙහි අඛණ්ඩ සටනේදී ඔවුන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව පෙන්නුම් කල බවද ඔහු පැවසීය.  

ජාතික ආරක්‍ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් බුද්ධි ජාලය පුනර්ජීවනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් පරිදි පසුගිය පාලන සමයේදී හුදෙකලාව කටයුතු කළ සියලු බුද්ධි අංශ කේන්ද්‍රගත කිරීමේ වැදගත්කම පිලිබඳව මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කළේය.  

1984 වර්ෂයේදී විශේෂ කාර්ය බලකාය පිහිටුවීමට මුල්වූ අභාවප්‍රාප්ත රවී ජයවර්ධන වෙනුවෙන් ඔහු සිය කෘතඥතාව පළ කළේය.   

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට මුහුණ දීම සඳහා එකල පැවති විශේෂ ඒකක ඵලදායි නොවූ බැවින්  80 දශකයේ මුල් භාගයේ පොලිස් දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව රණසිංහ කමිටු වාර්තාව මගින් නිර්දේශ කළේය.  

මෙම බලකාය ප්‍රථම වරට උතුරු පළාතේ යොදවා ඇත්තේ පොලිස් ස්ථානවලට ආරක්‍ෂාව සැපයීම සහ ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහාය වීම පිණිසය.  

මෙම කාලය තුළ එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ රවී ජයවර්ධන විශේෂ කාර්ය බලකාය සඳහා විදේශීය උපදේශකවරුන්ගේ විශේෂ පුහුණුවීම් ලබා දීමට කටයුතු කිරීම කෙරෙහි උනන්දුවක් දක්වා තිබේ.