විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය අධිකරණ නියෝග සහ නිරෝධායන නීතිය මත ක්‍රියාකලා - ආරක්ෂක ලේකම්

ජුනි 11, 2020

පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ , අධිකරණ නියෝගයක් මත සහ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි ලෙස බලාත්මක කරන ලද නිරෝධායන නීතියේ විධිවිධාන යටතේ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

එක්සත් ජනපද පොලිස් භටයන් විසින් ඝාතනය කරන ලද ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටියදී පොලීසිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම් පවසා  සිටියේ රජය නැවත ජනතාවගේ ජීවිත අවදානමට ලක් නොකරන බවයි.

“කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔවුන්ගේ ජිවිත ජනතාව වෙනුවෙන් පරදුවට තබමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවකයින් කැපවීමෙන් කටයුතු කළා. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගේ ගමන් බිමන්  වළක්වා ගැනීමට  මාස දෙකකට අධික කාලයක් වසා  දැමීම සහ වෙනත් සීමා කිරීම් වලින් පසුව අපි රට විවෘත කර තිබෙනවා. එමනිසා, කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ මෙම වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැක.” ඔහු පැවසිය.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම විසින් විෂබීජ නාශක දියර ආරක්ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම සඳහා අද (ජුනි 11) දින උදැසන පැවති උත්සවය අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ වේගයෙන් බෝවන කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පවත්නා නීති උල්ලංඝනය කරමින් විරෝධතා පැවැත්වීම අසාධාරණ බවයි.

“මුළු ජාතියටම දැවැන්ත පීඩාකාරී තත්වයකට මුහුණ දීමට සිදු වූ අතර, වසංගතයට එරෙහි උත්සාහයන් සඳහා හැකි සෑම ආකාරයකින්ම සමාජයේ සෑම කෙනෙක්ම පාහේ දායක වූ අතර, අප විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කර දින කිහිපයක් ගතවී තිබියදී , ඔවුන් විරෝධතාවයක් පැවැත්වීමට එක්රැස් වීමට උත්සාහ කලා” ඔහු තවදුරටත් පැවසිය.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම හි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සංකේතාත්මකව විෂබීජ නාශක දියර ලීටර් 50,000 ක් ආරක්ෂක ලේකම් වෙත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේ දී  භාර දුන්නේය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සම්බන්ධ ත්‍රිවිධ හමුදාවේ අංශ අතර මෙම විෂබීජ නාශක දියර බෙදා හැරේ.

වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවා විසින් දරනු ලබන ප්‍රයත්නයන් සඳහා  සහයෝගයක් ලබා දීම පිළිබඳව ආරක්ෂක ලේකම් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ  හි කළමනාකාරිත්වය සහ සේවකයින් ඇතුළු පිරිසට සිය කෘතඥතාව පළ කළේය.

“ජාතික ආරක්ෂාව අවිවාදයෙන්ම ප්‍රධාන ප්‍රමුඛතාවය වන අතර, මෙය ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර ඇත. ජාතික ආරක්ෂාව නොමැතිව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ කිසිදු අදහසක්, අධ්‍යාපනයේ වර්ධනය මෙන්ම ආයෝජකයින් තුල තිබෙන  විශ්වාසයන් ද නිෂ්ඵල වනු ඇත”. ආරක්ෂක ලේකම් පැවසුවේය.

වෛරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයන් සඳහා ජනාධිපතිවරයා විසින් සපයන ලද ක්‍රියාකාරී නායකත්වය සහ දැක්ම ඉවහල් වූ  බව ඔහු අවධාරණය කළේය.

“මෙම පරිපාලනයේ විශේෂ ලක්‍ෂණය නම්, කලින් සිදු  කළ සුපුරුදු අනිසි ක්‍රියාමාර්ගවලට වඩා වෙනස්ව විවිධ කණ්ඩායම් හා ආයතන විසින් කරනු ලබන  උද්ඝෝෂණ  හා සඳහා   ඉඩකඩ ලබාදීමයි. අද වන විට, එවැනි කිසිදු කණ්ඩායමකට පහර දීම, ඇඳගෙන යාම හෝ බැටන් පොලු, ජල  හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර නැත. සිවිල් නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම සඳහා පරිපාලනය විසින් කෙතරම් ඉඩකඩ සලසා ඇතිද යන්නට මෙය පැහැදිලි සාක්ෂියකි.” ඔහු තවදුරටත් පැවසිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.