වෙරළාරක්‍ෂක හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

ජුලි 18, 2019

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර වේව් රයිඩර් කුඩා යාත්‍රා වල මෙහෙයුම් සහ පුහුණු වීම් පිලිබඳව අවබෝධතා ගිවිසුමකට බදාදා (ජුලි 17) දින කොළඹ වැල්ලවත්තේ පිහිටි වෙරළ ආරක්‍ෂක පසු මුලස්ථානයේදී එළඹ තිබේ.

වෙරළාරක්‍ෂක මාධ්‍යයට අනුව, දකුණු වෙරළේ මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ විධිමත් මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම වේව් රයිඩර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබා ගෙන ඇත.

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජී ඩ් ඒ එස් විමලතුංග සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එම් ජී පී සුරියබණ්ඩාර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කල අතර මෙමගින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුද්ගලයින් හට වේව් රයිඩර් යාත්‍රා හසුරුවන සහ මෙහෙයවන ආකාරය පිලිබඳව පුහුණුව සහ නිපුණත්වය ලබා දීම වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව මගින් සිදුකරයි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ වෙරළ ආරක්‍ෂක සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

ඉන්දියානු සාගරයේ උණුසුම් ජලය තල්මසුන් සහ ඩොල්ෆින් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායි ජීවීන් සඳහා ජනප්‍රිය භූමියක් බැවින් ශ්‍රී ලංකාව තල්මසුන් නැරඹීම සඳහා ප්‍රසිද්ධ වන අතර ඒ අතුරින් දකුණු වෙරළ තීරය ප්‍රධාන තැනක් ගනී. වාර්ෂිකව තල්මසුන් නැරඹීම සදහා දේශීය හා විදේශීය සංචාරකයින්ගේ විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණේ. මෙමගින් පවුල් සිය ගණනකට ඍජු සහ වක්‍ර රැකියා අවස්ථාවන්ද ඇති කරවයි.

අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වනජීවී හා ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීම මෙන්ම තල්මසුන් නැරඹීම සමුද්‍ර ක්ෂීරපායි ජීවීන් ආරක්ෂා කරමින් දේශීය සංචාරක කර්මාන්තය නගාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

දකුණු වෙරළ තීරයේ මිරිස්ස සහ ගාල්ල , නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලය සහ කල්පිටිය මුහුදු ප්‍රදේශය ශ්‍රී ලංකාව තුල තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමට ජනප්‍රිය හා සුදුසුම මුහුදු ප්‍රදේශයන්ය.