අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ CCTV 79ම වැඩ නෑ

ජුනි 17, 2020

 

චාමර අමරසූරිය

 

නවීන ආකාරයට මෑතකදී ඉදිකරන ලද අඟුණකොළපැලැස්සේ බන්ධානාගාරයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා 79න් එක් සී.සී.ටී.වී. කැමරාවක්වත් මේ වන විට ක්‍රියාත්මක නොවන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හෙළිදරව් කළේය.

මෑතකදී තමා එහි සවාරියකට ගිය අවස්ථාවේදී එම බන්ධනාගාරය තුල සී.සී.ටී.වී. කැමරා 79න් 26 ක් ක්‍රියාත්මකවූ බවත් මේ වන විට එහි කිසිඳු සී.සී.ටී.වී. කැමරාවක් ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පැවසීය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුල නිසි යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීමට එහි පහසුකම් ඇති බවත් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා සම්පත් වල ප්‍රශ්ණයක් ඇති බවත් හෙතෙම කීය.

බන්ධනාගාරය තුල දූෂීත නිලධාරීන් විශාල පිරිසක් සිටින බවට තමාට හැඟෙන බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.

දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරය තුල රඳවා ඇති මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුට ලබාදීම සඳහා රැගෙන ගිය රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදලක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් බන්ධනාගාරය පිටතදී අත්අඩංගුවට ගත් බවත් නමුත් එම බන්ධනාගාරය භාර නිලධාරියා විසින් එය සාධාරණීයකරනය කරමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වැරැද්ද පටලවමින් ලියුමක් ලිවීමේ සිද්ධියක් වාර්තාවූ බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. 

අඟුණකොළපැලැස්ස සහ බූස්ස යන බන්ධනාගාරවල පිටත ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද හෙතෙම පැවසීය.

 

උපුටා ගැනීම : mawbima.lk