ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරයි

ජුනි 18, 2020

රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා දැනට සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුළු ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින් නැවත සේවයේ පිහිටුවීම පිලිබදව සලකා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සඳහා 2020 පෙබරවාරි 19 වන දින අමාත්‍යාංශය වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ත්‍රිපුද්ගල කමිටුවක නිර්දේශය මත ඔවුන් නැවත සේවයේ පිහිටුවීම සිදු කෙරේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය පරිදි විධිමත් හා පාරදෘෂ්‍ය  ක්‍රියාවලියක් අනුගමනය කරමින් කමිටුව විසින් 2020 ජනවාරි 1 දිනට වයස අවුරුදු 50 ට වඩා අඩු 2009 ජුනි 1 දිනට පෙර සහ පසු සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බලනු ඇත.

එම පොලිස් නිලධාරීන් විසින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් නියෝග නිකුත් කර ඇත.

2009 ජුනි මස 1 වන දිනට පෙර සහ පසු සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන්ගෙන් ලැබුණු අභියාචනා පිළිබඳව කමිටුව සැලකිල්ල දක්වනු ඇත.

2009 ජුනි මස 1 වන දිනට පසු සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන් ධාරිතා පුහුණුවකට යටත් වන අතර පොලිස්පතිවරයා විසින් තීරණය කරනු ලබන ප්‍රදේශයක අවම වශයෙන් වසර තුනක කාලයක් සේවය කල යුතුය.

එම කාලසීමාව තුල ඔවුන් ස්ථාන මාරුවීමක් අපේක්ෂා කරන්නේ නම් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත  අභියාචනයක් ඉදිරිපත් කළ යුතුය.

සේවය අතහැරයාමේ නියෝග ලබා සිටි කාලයට අදාලව සිදු කෙරෙන පසුබිම් පරික්ෂාවකට හා නැවත සේවයට බදවා ගැනීමට තරම් යහපත් මානසික හා සෞඛ්‍ය තත්වයකින් යුක්ත වන්නේද යන්න සනාථ කර ගැනීම සදහා පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විසින් පවත්වනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.  

2009 ජුනි 01 දිනට පෙර සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නැවත සේවයේ පිහිටුවන  ලෙස ඉල්ලා සිටින නිලධරයන් සේවය අතහැරයාමේ නියෝග ලැබීමට පෙර සිය සේවා කාලය තුල උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල (මෙහෙයුම් කලාප තුල) අවම වශයෙන් වසරක කාලයක් සේවය කර තිබිය යුතුය.

දැනට සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධරයන් හට තම අභියාචනා www.defence.lk සහ www.police.lk  යන වෙබ්අඩවි ඔස්සේ ලබාගතහැකි ආකෘති පත්‍රයට අනුව සකස් කර ඉදිරිපත් කල යුතු අතර ඒ පිළිබද වැඩි විස්තර 0112887884 ඔස්සේ ලබා ගත හැකිය.

කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි “නැවත සේවයේ පිහිටුවීම - 2020” ලෙස සදහන් කිරීම අත්‍යවශ්‍ය වේ.

අදාළ ඉල්ලුම්පත්  2020.07.17 දින හෝ ඊට ප්‍රථම අතින් ගෙනැවිත් භාරදීම, ලියාපදිංචි තැපෑලෙන් 

අතිරේක ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය (නීතිය හා සාමය අංශය),
14 වන මහළ, “සුහුරුපාය”,
බත්තරමුල්ල. යන ලිපිනයට 
හෝ 
adlseclaw1@defence.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ලැබීමට සැලැස්විය යුතුය.

 

(Download application form)