රාජකාරියෙන් ඔබ්බට ගිය ආදර්ශවත් හැසිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මුදල් ත්‍යාග

ජුනි 26, 2020

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට සහ සිවිල් වැසියෙකුට අද දින (ජූනි 25) මුදල් ත්‍යාග හා  සහතිකපත්  ප්‍රදානය කළේ ඔවුන්ගේ රාජකාරියේ විශිෂ්ඨභාවය අගය කරමිනි.  

අද සවස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී මෙම මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදි.  

තම ජීවිත අවදානම නොතකා 2020 මැයි 31 වන දින කොත්මලේ ජලාශයේ අතු ගංගාවකට වැටී සිටි කාන්තාවකගේ ජීවිතය බේරාගැනීම අගය කරමින් තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු හා එම පොලිසියටම අනුයුක්ත පොලිස් කොස්තාපල් සෙල්වරාජ් කන්දරුබන් යන අයට ත්‍යාග ලබාදෙන ලදි.   

මේ අතර, එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් බේරාගත් 22 හැවිරිදි කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන්ගේ පවුල වෙනුවෙන් ඔහුගේ සහකාරිය වන ශිවන් මේරි තෙරේසාට රු. 500,000 ක චෙක්පතක් ද පරිත්‍යාග කර ඇත.   

2020 ජුනි 09 වන දින කොළඹ ජාතික රෝහලේ සිදුවූ රු 7,780,226.00 වටිනා මුදල් මංකොල්ලයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වික්‍රමාන්විත මෙහෙවරක් කල ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත සහ පොලිස් කොස්තාපල් පී ජි එම් පි කරුණාතිලක යන අයද සහතිකපත් හා මුදල් ත්‍යාග ලැබුහ.   

මීට අමතරව, කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහාය වීම සඳහා ඔහු දැක්වූ ආදර්ශමත් උත්සාහය අගයමින් ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු වන ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ. ප්‍රනාන්දුට ද මුදල් ත්‍යාගයක් පිරිනමන ලදි.