ත්‍රස්තවාදයට යළිත් ඉඩක් නොමැත - ආරක්‍ෂක ලේකම්

ජුලි 12, 2020

•    අන්තවාදී ආගමික මතවාද පතුරුවා හැරීමට රජය ඉඩ නොදෙන බව පවසයි.

බෙදුම්වාදය ප්‍රචාරය කරන්නන් ත්‍රස්තවාදය යළිත් වරක් ඇති කිරීමට උත්සාහ කළ නමුත් කිසිවෙකුටත් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලීමට රජය ඉඩ නොදෙන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.  

දශක තුනකට අධික කාලයක් තිස්සේ රට පුරා පැතිරී තිබූ ත‍්‍රස්තවාදය මීට වසර 13 කට පෙර අවසන් වූ නමුත් බෙදුම්වාදී මතවාදයන් කෙරෙහි උනන්දුවක් දක්වන සමහර බලවේග ත‍්‍රස්තවාදයට රුකුල් දෙන නමුත් මෙම රජය යටතේ එය කළ නොහැකි වනු ඇති බව ඔහු පැවසීය.  

“ත්‍රස්තවාදය හා අන්තවාදය නිසා මේ රට සහ අපේ ජනතාව විශාල වශයෙන් පීඩා වින්දා නමුත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ රජය එවැනි මතවාදයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්‍ෂක පියවර ගෙන තිබේ,” කොකාවිල් සටනේදී මියගිය නිර්භීත හමුදා සෙබළුන්ට උපහාර දැක්වීම සඳහා ඊයේ දින (ජුලි 11) පැවති උත්සවයකදී ඔහු පැවසීය.  

1990 ජුලි 11 වන දින කොකාවිල් කඳවුර සහ රූපවාහිනී කුළුණ ආරක්‍ෂා කිරීම සඳහා අවසන් හුස්ම හෙළන තෙක් සටන් කළ කපිතන් සාලිය අලදෙණිය සහ ඔහුගේ සෙබළුන් 60 දෙනාගේ කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා එහි 30 වන ඓතිහාසික විරු සැමරුම “1990 කොකාවිල්” යන තේමාව යටතේ කොළඹදී මෙම උත්සවය පැවැත්විණි.   

කඳවුර අතහැර නොගොස් ත්‍රස්තවාදීන්ට යටත් නොවී සිවිල් සේවකයින් සිව්දෙනෙකු ඇතුළු සිය පිරිස සමඟ ඔහු සිදුකළ ජිවිත පරිත්‍යාගය වෙනුවෙන් පිරිනමන ලද ගෞරවනීය පරම වීර විභූෂණය පදක්කමින් ප්‍රථම වරට පිදුම් ලැබුවේ කපිතන් අලදෙණියයි.  

රටේ සාමයට හා ස්ථාවරත්වයට බාධාවක් වන අන්තවාදී ආගමික මතවාද පතුරුවා හැරීමට රජය ඉඩ නොදෙන බව ආරක්‍ෂක ලේකම්වරයා නැවත අවධාරණය කළේය.  

ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවද, එය ත්‍රස්තවාදය වැනි තර්ජන පිළිබඳ පමණක් නොව, අන්තවාදය, බාහිර තර්ජන සහ ස්වාභාවික විපත් හා සෞඛ්‍ය උපද්‍රව වලින් ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ද වන බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.  

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මාෆියාව තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රයත්නයන් පිළිබඳව පැහැදිලි කරමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ සියලු ශ්‍රී ලාංකිකයින්ට භීතියෙන් තොර රටක ජීවත් වීමට ආරක්‍ෂිත දේශයක් බිහිකිරීම සඳහා තමන් කැපවී සිටින බවයි.  

ත්‍රස්තවාදය නිම කිරීම සඳහා සිය ජීවිත හා අත් පා කැප කළ සියළුම සොල්දාදුවන්ට සිය උපහාරය පුද කල මේජර් ජෙනරාල් ගුණරත්න සොල්දාදුවන් 5,900 කට වැඩි පිරිසක් සිය ජිවිත පුජා කලේ වසර තුනක කාලයක් පුරා පැවති අවසන් සටනේදී පමණක් බවයි.  

“සොල්දාදුවන් 28,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 60,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා සිදුකරන ලද පරිත්‍යාගයන් හේතුවෙන් ඔබ අද සාමය භුක්ති විඳිනවා,” ඔහු පැවසීය.

පාකිස්තානය හා ඉන්දියාව වැනි රටවල පවත්නා යුද සාහිත්‍යය ශ්‍රී ලංකාවේ ද තිබීමේ අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කළේය.

“යුද සාහිත්‍යය සකස් කළ යුතුව ඇත්තේ හමුදාවේ සාර්ථකත්වයන් හා පසුබෑම් ඇතුළු කරුණු පිළිබඳව සිදුකල යුතු නිසි පර්යේෂණ වලින් පසුවයි. රට බේරා ගැනීම සඳහා අපගේ නිර්භීත සොල්දාදුවන් විසින් සිදුකරන ලද වීරෝදාර ක්‍රියාවන් පිළිබඳව දැනගැනීමට අනාගත පරපුර උදෙසා ඒවා ලියා තැබිය යුතුය,” සොල්දාදුවන් කළ පරිත්‍යාගයන් මිනිසුන්ට මතකයේ තබාගැනීම සඳහා ඔහු විසින් ලියන ලද පොත් සහ ගීත පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසීය.  

“රණවිරුවෙකුගේ මවක් හමුවීම පිළිබඳව මම ආඩම්බර වෙනවා”, මේජර් ජෙනරාල් ගුණරත්න ඉන්ද්‍රානි අලදෙණිය හට පැවසූ අතර කොකාවිල් සටනේ අවසන් හුස්ම හෙළන තෙක් කපිතාන් අලදෙණිය සමඟ සටන් කළ සෙසු සෙබළුන් 60 දෙනාගේ මව්වරුන්ට උපහාර පිරිනැමීය.  

හිටපු යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක සහ ආර්යා පදනමේ සභාපති චරිත් කිරිඇල්ල යන අය මෙම උත්සව අවස්ථාව ඇමතීය.