විශ්‍රාම යන නාවික හමුදාපති විශිෂ්ඨ සේවාවක් ඉටු කල ආදර්ශමත් නිලධාරියෙකි - ආරක්ෂක ලේකම්

ජුලි 13, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නායකත්වය යටතේ මුහුදේ දී මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ගැඹුරු මුහුදේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ නෞකා යෙදවීමේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාකාරී සැලැස්ම දියත් කිරීම සඳහා වයිස් අද්මිරාල් ද සිල්වාගේ දායකත්වය අගය කරමින් ඔහු පැවසුවේ ඵලදායි උපාය මාර්ග අනුගමනය කරමින් මුහුදේදී විශාල වශයෙන් ජාවාරම් කරන ලද මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම  වයිස් අද්මිරාල් ද සිල්වාගේ මඟ පෙන්වීම නොවන්නට සිහිනයක් වන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (ජූලි 13) ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙනුවෙන් පවත්වන ලද සේවය ඇගයීමේ උත්සවයේදී සමුදීමේ දේශනය සිදුකරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ නාවික හමුදාවට නිවැරදි මාවතක ගමන් කිරීමට හැකි වූයේ ඔහු වැනි ආදර්ශවත් නාවික හමුදාපතිවරයකු නිසා බවයි.  

“ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය සැකසීම, ගාල්ල සහ ත්‍රිකුණාමලය දිය යට කෞතුකාගාර  හා කිමිදුම් ස්ථාන පිහිටුවීම, නාවික බෝට්ටු තටාකාංගනය ඉදිකිරීම සහ මීටර් 20 ක් දිග මුර සංචාර බෝට්ටු දේශීයව නිපදවීම වැනි සුවිශේෂී ජයග්‍රහණ කරා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවීමට ඔහුට හැකි වුනා,” COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා වයිස් අද්මිරාල් ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන ලද දායකත්වය අගය කරමින් ඔහු පැවසීය.

“ශ්‍රී ලංකා නාවික හමුදාව තුල වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීමට ඔහුට හැකි වුනා. ශක්තිමත් හමුදා නායකයෙකු ලෙස ඔබ තුල ඇති අධිෂ්ඨානය වෙනුවෙන් මම ඔබට මගේ හෘදයාංගම කෘතඥතාවය පළ කරනවා,” ඔහු පැවසීය.

හමුදාවෙන් ඉවත්ව යන අයට සමුදීම දිගු කලක් තිස්සේ ඉටු කරනු ලබන සිරිතක් බවත්, අමාත්‍යාංශය අද සිට එම ක්‍රියාව ආරම්භ කරමින් විවිධ හැකියාවන්ගෙන් පරිපුර්ණ වසර 36 කට වැඩි කාලයක් ජාතියට විශිෂ්ඨ සේවාවක් සැපයූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ද සිල්වාට සමුගැනීමක් ලබා දුන් බවත් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

වයිස් අද්මිරාල් ද සිල්වා 2019 ජනවාරි 1 වන දින නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදී. නාවික හමුදාධිපතිවරයා වසර ගණනාවක් මුළුල්ලේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සංවර්ධනයට හා විප්ලවීය වෙනසකට දායක වූ දක්ෂ කිමිදුම්කරුවෙකි.

පසුගිය වසරේ පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාවික හමුදාපතිගේ  දායකතත්වයද විශාල ලෙස ඉවහල් විය.

මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක ලේකම්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් සියලු දෙනා වෙත සිය කෘතඥතාවය පළ කරමින් වයිස් අද්මිරාල් ද සිල්වා පවසා සිටියේ නාවික හමුදාධිපතිවරයා ලෙස කටයුතු කල කාලය තුළ ඉහළ පරිපාලනයෙන් ඔහුට ලැබුණු නිවැරදි නායකත්වය ඔහුගේ තනතුරේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වූ බවයි.

නාවික කැඩෙට් නිලධාරියෙකු ලෙස ගත කල කාලය සිහිපත් කරමින් නාවික හමුදා ප්‍රධානියා පවසා සිටියේ තම පුහුණු කාලසීමාවේදී ඔහුගේ සමකාලීනයන් හා සසඳන විට තමාට යම්යම් අඩුපාඩු තිබුණත්, ඔහු සැමවිටම සාර්ථක වීමට අදිටන් කරගෙන සිටි බවත්, ඔහුගේ වෘත්තිය තුළ කිසි විටෙකත් එම අධිෂ්ඨානය මැකී ගොස් නොමැති බවයි.

අවසන් වශයෙන්, වයිස් අද්මිරාල් ද සිල්වා සඳහන් කළේ, කොළඹ වරාය නගරය, බේරේ වැව සහ අවට පරිසරය ජාතික සහ ආර්ථික වශයෙන් වාසි දායක වන පරිදි සංචාරක ආකර්ශනීය ස්ථානයන් බවට පත් කිරීම සඳහා යෝජනාවලියක්  සකස් කළ බවයි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදා ප්‍රධානී වෙත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න විසින් සමරු තිළිණයක් පිළිගැන්වූ අතර නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අරුන්දති ජයනෙත්ති වෙත විශේෂ සිහිවටනයක් ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න විසින් පිළිගැන්වීය.

මෙම අවස්ථාව සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා සහ සුජීවා නෙල්සන්, ගුවන් හමුදාපතිවරයා සහ ප්‍රභාවි ඩයස්, වැඩබලන පොලිස්පති සහ ප්‍රියංගි වික්‍රමරත්න, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහභාගී වුහ.

පිළිගැනීමේ කතාව අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී. නෝනිස් විසින් සිදු කරන ලදි.