ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති : වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න

ජුලි 15, 2020

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් අද දින (ජූලි 15) සිට බලපැවැත්වෙන පරිදි වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබූ වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න 24 වන ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්කර තිබේ.  

වයිස් අද්මිරාල් උලුගේතැන්න නාවික හමුදාපති ලෙස පත්වීමට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළේය. 

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, 1985 වර්ෂයේදී 13 වන බඳවා ගැනීම යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර ඇත.   

ඔහු කොළඹ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.   

ඕස්ට්‍රේලියාවේ වොලොංගොං විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්තිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති ඔහු ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධියද ලබා ඇත.   

සිය වසර 35 ක කීර්තිමත් සේවා කාලය තුල පුහුණු, පරිපාලනය සහ මෙහෙයුම් ඇතුළු පත්වීම් ගණනාවක් දරා ඇත.   

ඔහුගේ ආදර්ශවත් හැසිරීම සහ අභීතභාවය උදෙසා දෙවතාවක් රණ ශූර පදක්කමින්, විශේෂ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම සහ ක්‍රියාන්විත අතරතුර තුවාල ලැබීම නිසා දේශපුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වාගේ විශ්‍රාම ගැනීමත් සමග වයිස් අද්මිරාල් උලුගේතැන්න නව ශ්‍රී ලංකා නාවික හමුදාපති ධුරයට පත්වන ලදි.