ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සඳහා මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කෙරේ

ජුලි 16, 2020

ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා  කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන්  වලට  අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්  ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කර ඇති අතර,  ශ්‍රී ලංකාවේ මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.

අද (ජුලි 16) දින අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති නිල උත්සවයකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් වෙත  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින්  පත්වීම් ලිපි ලබා දෙන ලදී.

ජාතික සිවිල් ගුවන් සේවා ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආරක්ෂක ලේකම් එම නිළධාරීන් අමතා පවසා සිටියේ මෙම පත්වීම කාලෝචිත අවශ්‍යතාවයක් බවත්, සිවිල් ජීවිත ආරක්ෂා කිරීම සඳහා දැඩි  වගකීම් දැරීමට සිදුවන බවත්ය.

9/11 ප්‍රහාරයෙන් පසු ලෝකයේ ගුවන් සේවා කර්මාන්තයට ඇති වූ තර්ජන හමුවේ  එය  විකාශනය වී ඇති ආකාරය සහ අනාගතයේ දී එවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කාලෝචිත පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ නව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් කණ්ඩායම ගුවන් සේවා නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු බවත්, ඔවුන්ගේ සේවා හැකියාව  ඉහළ නැංවීම සඳහා විධිවිධාන යොදා ඇති බවත්, එම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායම 2006 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී  පුහුණුවක් ලබා ඇත.
 
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) සියලුම සාමාජික රටවල් අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන  ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්  මෙම පත්වීම් මගින් සපුරාලන බව ගුවන් ආරක්ෂක රෙගුලාසි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත පැවසීය.

මෙම ජාතික අවශ්‍යතාවය 2016 සිට ජාතික සිවිල් ගුවන් සේවා ආරක්ෂක කමිටු රැස්වීම්වලදී නිරන්තරයෙන් සාකච්ඡා වූ බව ඔහු පැවසුවේය.

“ප්‍රාණ ඇපකරුවන් බවට පත්වන අවස්ථාවන් පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා  ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති හේග් සහ ටෝකියෝ යනුවෙන්  ජාත්‍යන්තර සම්මුතීන් දෙකක් තියෙනවා”. ඔහු තවදුරටත් පැවසීය.

පත්වීම් ලැබූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායමට ගුවන් සමාගම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලබා දෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම  සහතික විය.