ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සහයෝගිතාව ශක්තිමත් වෙමින් පවතී - ආරක්ෂක ලේකම්

ජුලි 22, 2020

•    අසීරු කාලවලදී පාකිස්ථානය ලබාදුන් සහයෝගය ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවන බව පවසයි.
•    මානව හිමිකම් චෝදනා අප රටට එල්ල වූ අවස්ථාවේ පාකිස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව පවසයි.
•    ලබන වසරේ සිට පාකිස්ථාන හමුදා නිලධාරීන්ට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ වඩා වැඩි අවස්ථාවන් ලබාදීමට ඇති සැලසුම් හෙළි කෙරේ.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ දෙරට අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා මත ගොඩනැඟුණු අන්‍යොන්‍ය විශ්වාසය තුළින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා සහයෝගීතාව ශක්තිමත්ව වර්ධනය වන බවයි.

යුද සමයේදී ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් සඳහා පාකිස්ථානය දැක්වූ  දායකත්වය පිළිබඳව  සඳහන් කරමින් ඔහු පවසා සිටියේ, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ ශ්‍රී ලංකාව කුරිරු යුද්ධයක පැටලී සිටි අවස්ථාවේ ජාතීන් දෙක අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවති බවයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව දශක ගණනාවක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කිරීමට සටන් වදිමින් සිටින විට මානව හිමිකම් චෝදනා රටට එල්ල වූ අවස්ථාවේදී පාකිස්ථානය දැක්වූ සහයෝගය ශ්‍රී ලංකාවට කිසිදා අමතක නොවන බව ඔහු පැවසීය.

“අවශ්‍ය මොහොතේ ලඟ සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි” යැයිද “දුෂ්කර අවස්ථාවන්හිදී පාකිස්ථානය දැක්වූ සහයෝගය ශ්‍රී ලාංකිකයන් වන අපි කිසිදා අමතක නොකරමු” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

ඈත අතීතයේ පටන් පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඉතා යහපත් සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

අද දින (ජුලි 22) පාකිස්ථානයේ ක්වේටා හි පිහිටි පාකිස්ථාන අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් පවත්වන ලද ‘සියවස් පදක්කම්’ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රධාන දේශනය සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය අද පෙරවරුවේ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පැවැත්විණි.

පිළිගැනීමේ දේශනය සිදුකල පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි 2015 වර්ෂයේදී බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරියෙකුව සිට ඇත.

පාකිස්ථාන අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් 37 දෙනෙකුට මෙම උත්සවයේදී ‘සියවස් පදක්කම්’ පිරිනමන ලදී.

පාකිස්ථාන මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකා උපාධිධාරීන් අතරින් නිලධාරීන් 10 දෙනෙකු තවමත් ආරක්ෂක අංශයේ සේවය කරන අතර 27 දෙනෙකු විශ්‍රාම ගොස් ඇත.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කට්ටක් විසින් එම විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකු වන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ‘සියවස් පදක්කම’ ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරාල් ගුණරත්න, 2000 වර්ෂයේදී ක්වේටා මාණ්ඩලික විද්‍යාලයේ සිය මාණ්ඩලික පාඨමාලාව හදාරමින් සිටින අවස්ථාවේ වර්තමාන පාකිස්ථාන මහ කොමසාරිස්වරයා එහි උපදේශකවරයකුව සේවය කර ඇත.

වර්ෂ 1960 සිට වර්ෂ 2005 දක්වා වූ කාලසීමාවේදී මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති ශ්‍රී ලාංකික නිලධාරීන් 37 දෙනෙකු සඳහා පාකිස්ථාන රජය විසින් මෙම පදක්කම හිමිගන්වන ලදී.

මෙම උත්සවය රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළ අතර පදක්කම්ලාභීන් සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පාකිස්ථාන රජය, සන්නද්ධ හමුදා හා මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් වෙත සිය කෘතඥතාවය මෙම උත්සව අවස්ථාවේදී පළ කළේය.

1905 වර්ෂයේදී ආරම්භ කරන ලද ක්වේට අණ හා මාණ්ඩලික විද්‍යාලය පාකිස්ථාන හමුදාවේ පැරණිතම හා කීර්තිමත්ම ආයතනයයි.

ෆීල්ඩ් මාෂල් ආකීබෝල්ඩ් වවෙල් (Archibald Wavell), බර්නාඩ් මොන්ට්ගෝමරි (Bernard Montgomery), ශ්‍රීමත් ක්ලෝඩ් අවුචින්ලෙක් (Sir Claude Auchinleck) සහ එක්සත් රාජධානියේ  විලියම් ස්ලිම් (William Slim), ඕස්ට්‍රේලියාවේ බ්ලාර්නි (Blarney), පාකිස්ථානයේ අයුබ් ඛාන් (Ayub Khan) සහ ඉන්දියාවේ සෑම් මනෙක්ෂෝ (Sam Manekshaw) ඇතුළු බොහෝ ප්‍රවීණ හමුදා නිලධාරින් මෙම විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියින්ය.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් හට 1960 දී පාකිස්ථාන අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදෙන ලදී. ඉන් පසුව මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික ආදි විද්‍යාර්ථීන් රට තුළ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා”, ආරක්ෂක ලේකම් පැවසීය.

“ශ්‍රී ලංකාව තුල පාඨමාලා සදහා බොහෝ අවස්ථාවන් පාකිස්ථාන හමුදාව වෙත වාර්ෂිකව ලබා දෙනු ඇත. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය පිහිටුවීමත් සමඟ පාකිස්ථාන නිලධාරින් වෙත වැඩිපුර අවස්ථා ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.” ඔහු පැවසීය.

මෙම අවස්ථාවට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහභාගී වුහ.