කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින් දක්වන සහයෝගය ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට ලක්වේ

ජුලි 23, 2020

•    සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යායතනය පළමු වරට ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාපති උපාධි වැඩසටහන ආරම්භ කරයි.

නිර්භීතව හා කැපවීමෙන් සිය රාජකාරීන් ඉටුකරන හමුදා වෛද්‍ය කණ්ඩායම් රට තුළ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා නිරෝධායන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රජයට සහාය වී ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ඊලාම් යුද්ධයේදී තුවාල ලැබූ සොල්දාදුවන් හට ප්‍රතිකාර කර ජීවිත බේරා ගනිමින් ඔවුන් තුල විශ්වාසය තහවුරු කළ ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම්, දේශීය හෝ විදේශීයව ඇතිවන ඕනෑම ආකාරයක මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූවන් වන බවද ඔහු පැවසීය.

“බරපතල ව්‍යසනයන්හිදී මෙන්ම සියලු යුධමය අවස්ථාවන්වලදී එමගින් බලපෑමට ලක්වූ හමුදා සහ සිවිල් වැසියන්ට ඉහළ මට්ටමේ විශ්වාසනීය සේවාවක් හමුදා වෛද්‍ය වෘත්තිකයින් විසින් ලබාදී තිබෙනවා” ඔහු පැවසිය.
 
ඕනෑම ආකාරයක සාම්ප්‍රදායික හෝ සාම්ප්‍රදායික නොවන තර්ජනයකට මුහුණ දීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට සහායවීම වෙනුවෙන් සන්නද්ධ සේවා වෛද්‍ය වෘත්තිකයින්ගේ කාර්යභාරය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

අද දින (23) නාරහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවති සන්නද්ධ සේවා  වෛද්‍ය විද්‍යායතනයේ, සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාපති උපාධි වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න සහභාගී විය.

ප්‍රධාන දේශණය සිදුකරමින් ඔහු පවසා සිටියේ මෙම උපාධි පාඨමාලාව හැදෑරීම තුලින් ලබා ගන්නා දැනුමද භාවිතා කරමින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට ලොව පුරා විවිධ ජාතිකයින්ට  වඩාත් හොද සේවාවන් සැපයීමට අවස්ථාවන් ලැබෙන බවයි.

“පිළිගැනීමක් ලැබීමෙන් පසු කලාපීය හා ගෝලීය මට්ටමේ සහභාගීවන්නන්ගේ  ආකර්ශණය දිනාගන්නා විවිධ ජාතීන්ගෙන් සමන්විත  සංසදයක් දක්වා මෙය සංවර්ධනය කිරීමට අපට හැකි වෙනවා. ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වන ඕනෑම තත්වයකදී  වැඩ කිරීම සඳහා සුදුසු අධ්‍යයන පසුබිමක් සහිතව ඔවුන්ව ශක්තිමත් කිරීම අවශ්‍යතාවයක් වෙනවා”.  සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති වැඩසටහන හඳුන්වා දීම පිළිබඳව සන්නද්ධ සේවා  වෛද්‍ය විද්‍යාතනයට  ප්‍රශංසා කරමින් ඔහු පැවසීය.

දේශීය හා විදේශීය වශයෙන්  ඇතිවන වසංගත, සන්නද්ධ සංග්‍රාම මෙන්ම ස්වාභාවික හෝ මිනිස් ක්‍රියාකාරකම්  නිසා ඇතිවන  ව්‍යවසනයන්හි තීරණාත්මක අවස්ථාවන්ට මුහුණ දීම සඳහා සන්නද්ධ සේවා වෛද්‍ය ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක දැනුම තරුණ පරම්පරාවට ලබා ගැනීම සඳහා මෙම නව පියවර ඉවහල් වන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය මත කොළඹ විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව පවත්වනු ලබන මෙම වැඩසටහන ත්‍රිවිධ හමුදා විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන අතර සටන්, සායනික සහ නිවාරණ සෞඛ්‍ය ඇතුළු වෛද්‍ය සහ ඒ ආශ්‍රිත අධ්‍යයනයන්  මෙන්ම හමුදා මනෝචිකිත්සාව, හමුදා  ආචාර ධර්ම හා සිරිත් විරිත්, ආපදා කළමනාකරණය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහෙයවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගගන  වෛද්‍ය විද්‍යාව ද  කිමිදුම් කටයුතු ආශ්‍රිත වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ද සිදුකරනු ලබයි.
මෙම වැඩසටහන හඳුන්වා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ කැපවීම අගය කළ ආරක්ෂක ලේකම්වරයා , සන්නද්ධ සේවා  වෛද්‍ය විද්‍යායතනය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න, පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ, සේවයේ නියුතු  හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පශ්චාත් වෛද්‍ය උපාධි  ආයතනයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.