සාමූහිකව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීමට හැකි වුනා - ආරක්ෂක ලේකම්

අගෝස්තු 02, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බුද්ධි සේවය සාර්ථකව යෙදවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බවයි.

වෛරසය පැතිරීම පාලනය කිරීමේ දැවැන්ත කර්තව්‍යයක් සිදු කල ආරක්ෂක අමාත්‍යාංශ විෂයපථය යටතේ ඇති වඩාත්ම වැදගත් ආයතනයක් වන මෙරට බුද්ධි සේවය මේ සඳහා යෙදවීමේ  ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ඔහු පැවසීය.

අගෝස්තු 31 වන දින කොළඹ පැවති මිලින්ද රාජපක්ෂ විසින් රචිත ‘කොරෝනා දිනපොත 2020’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සටන් වදින සියලු පෙරටුගාමීන්ට මෙය  උපහාරයක් වනු ඇති බවයි.

මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මාරාන්තික කොරෝනා වෛරස්  වසංගතය හමුවේ සියලු සංවර්ධිත රටවල් අසරණව සිටි අවස්ථාවේ ශ්‍රී ලංකාව එයට නිර්භයව මුහුණ දුන් බවත්  වෛරසය පැතිරීම අවම කිරීම සඳහා රජය ඉතා හොද සුදානමකින් සිටින බවත්ය.

“මාරාන්තික වෛරසය සාර්ථකව පාලනය කළ හැකි ආකාරය පිළිබඳව වෙනත් රටවලට ශ්‍රී ලංකාව ආදර්ශයක් ලෙස ගත හැකි වනවා. වෛරසය අප වෙත ළඟා වීමට පෙර එම  අභියෝගයට මුහුණ දීම සඳහා පුළුල් යාන්ත්‍රණයක් සකස් කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් හට මෙහි  සම්පුර්ණ ගෞරවය හිමිවිය යුතුයි “.ඔහු පැවසීය.

ජනවාරි 26 දින වසංගතය පාලනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළ බවද නමුත් ඒ වනතුරුත් ශ්‍රී ලංකාව තුල කිසිදු රෝගියෙකු වාර්තා වී නොතිබූ බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

“කොරෝනා වෛරසයෙන්  රට බේරා ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයින් පමණක් නොව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ සහ සමස්ත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයම දායක වුනා”. ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ කොරෝනා වෛරසය තරග දිවීමක්  නම් , රටේ සියලු බුද්ධි අංශ එක්වී අවදානමට ලක්විය හැකි සියලු ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුම් දියත් කර මෙය ජයගත් බවයි.

“සෞඛ්‍ය බලධාරීන්ගේ සහ බුද්ධි අංශවල සහයෝගයෙන් රජය විසින් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වසා දැමීමට පියවර ගත් අතර වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිත බවට සැකසහිත පුද්ගලයින් සහ ආසාදිතයින්ගේ සමීපතමයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කලා”. ඔහු පැවසීය.