ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීමට පියවර

අගෝස්තු 17, 2020
  • අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්‍ෂ සිය ධුරයේ වැඩ ආරම්භ කරයි

මීට වසර කිහිපයකට පෙර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නොසලකා හරින ලද විවිධ ගැටළු සහ විශාල වශයෙන් සිදු වු ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීමට පියවර ගන්නා බව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් එම ගැටළු පිළිබඳව සොයා බලමින් ජනතාවට සේවය කිරීම සඳහා අමාත්‍යාංශයට විශාල වගකීමක් පවරා ඇති බව ඔහු පැවසීය.

නාරාහේන්පිට පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද දින (අගෝස්තු 17) පැවති වැඩ භාර ගැනීමේ උත්සවයේදී ඔහු පවසා  සිටියේ “වායුසමීකරණය කරන ලද සුවපහසු කාර්යාල කාමරවල සිට රාජකාරී කරනවා වෙනුවට බිම් මට්ටමේ ජනතාවට සේවය කිරීම සඳහා අපහට කාලය පැමිණ ඇති බවයි.” ඒ සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

රජයේ සේවකයින්ගේ ගැටළු පිලිබදව සොයා බලන බවට පොරොන්දු වූ අමාත්‍ය රාජපක්ෂ අවංකව ජනතාවට සේවය කිරීම සඳහා කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දැක්ම යටතේ දක්වා ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සියලුම ආයතනවලට ඒ සදහා අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සාමූහිකව කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

නියමිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ අදාළ ආයතන හා දෙපාර්තමේන්තු වල රාජකාරි හා වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය පිලිබදව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අවධාරණය කරන ලදි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අගෝස්තු මස 12 වන දින පැවති දිවුරුම් දීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදි.

මෙම උත්සවය සදහා ආගමික නායකයින්, යුද්ධ හමුදාධිපති සහ වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වූහ.