බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීම සඳහා අද සිට විශේෂ කාර්ය බලකාය යොදවනවා - ආරක්ෂක ලේකම්

අගෝස්තු 24, 2020

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීම සඳහා අද දින (අගෝස්තු 24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බන්ධනාගාර සිර මැදිරිවල සිට අපරාධ සිදුකිරීම සඳහා ජංගම දුරකථන භාවිතා කිරීම වළක්වාලීම සඳහා මෙම බන්ධනාගාරවලට වැඩි ආරක්ෂාවක් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ  මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ  බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල සහ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ  බන්ධනාගාරයෙන් බන්ධනාගාර නියාමකයින් විසින් මත්ද්‍රව්‍ය , සිම් කාඩ්පත් සහ ජංගම දුරකථන දිනපතාම සොයාගෙන ඇති බවයි.

මෙම බන්ධනාගාර තුළ පවතින දැඩි ආරක්‍ෂාව මධ්‍යයේද ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියාවන් දිගින් දිගටම කරගෙන යන බවත්,  බන්ධනාගාරවලට ඇතුළු වන ස්ථානවල යම් යම් අඩුපාඩු ඇති බැවින් එම නීතිවිරෝධී භාණ්ඩ බන්ධනාගාර තුළට ඇතුළු වන බවත් පසුව අනාවරණය කරගත් බව ආරක්ෂක ලේකම් පැවසීය.

"බන්ධනාගාර බුද්ධි අංශය ඇතුළු සියලුම බුද්ධි අංශ ඒකාබද්ධ කරමින් බන්ධනාගාරවල ඇති අඩුපාඩු සොයා ගැනීම සඳහා එක්ව වැඩ කරන නව ක්‍රමය අප විසින් අනුගමනය කරන විට මෙය අනාවරණය වුණා" ඔහු පැවසීය.

අගුණකොලපැලැස්ස  බන්ධනාගාරයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මේ වන විටත් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද ඔහු පැවසීය.

බන්ධනාගාරය තුලට  මත්ද්‍රව්‍ය, සිම් කාඩ්පත් සහ වෙනත් නීති විරෝධී භාණ්ඩ ඇතුළුවීම වැළැක්වීම සඳහා වැලිකඩ  බන්ධනාගාරයේ ගේට්ටු සියල්ලම අද සිට විශේෂ කාර්ය බළකායට බාර දෙන බව ඔහු සදහන් කළේය.

දඹුල්ලේ පිහිටා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න විසින් සංවිධානය කරන ලද 53 වන සේනාංකයේ 25 වන සංවත්සර උත්සවය අමතමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව බන්ධනාගාර තුළ විමර්ශන කටයුතු සිදුකිරීමට බන්ධනාගාර නිලධාරීන්ට වැඩි ශක්තියක් ලැබුණු බවයි.
 
මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් තුරන් කිරීම සදහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම පිළිබඳව අවධාරණය කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙම තත්වය ඉදිරියට වසර හතරක් හෝ පහක් පැවතුනානම් කිසිම කෙනෙකුට නිදහසේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති විය හැකිව තිබුණු බවයි.

" ශ්‍රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා " ඔහු පැවසීය.

ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව රටේ සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත රටක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද  ඔහු පැවසීය.

53 වන සේනාංකයේ 25 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා භූමියෙන් කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීමේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ එම ජාතික කර්තව්‍යයට නායකත්වය දුන්  53 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපතිවරයා වූ මා හට මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටට කරුණක් බව මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේය.

තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර මාතෘ භූමියට සාමය ඇති කිරීම සඳහා 53 වන සේනාංකය විසින් සිදුකරනු ලැබූ විශාල මෙහෙවර සිහිපත් කරමින් ඔහු කියා සිටියේ    ආරක්ෂක ලේකම් වශයෙන් මා අද භුක්ති විඳින ගෞරවයෙන් කොටසක් ගජබා රෙජිමේන්තුව සහ 53 වන සේනාංකයට හිමිවන බව ඔහු විශ්වාස කරන බවයි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරාල් ගුණරත්න සහ මේජර් ජෙනරාල් සේනාරත්න අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු  විය.

මෙම අවස්ථාව සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Sinhala.