පෞද්ගලික උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ජනාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටී

සැප්තැම්බර් 01, 2020
  • ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බව පවසයි.

ජාතික වගකීම් සපුරාලීම සදහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බැවින් මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අද දින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනතා යහපත උදෙසා වන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමටත්, ඔවුන් මුහුණ දෙන ගැටලු බිම් මට්ටමේදීම විසඳීමටත් තම කාලය වැය කිරීමට ජනාධිපතිවරයා උනන්දු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ජාතික වගකීම් ඉටු කිරීම සඳහා ඔහු තම කාලය ගත කිරීමට උනන්දු වන බැවින්, මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා ජනපති හට  ආරාධනා කිරීමෙන් වලකින්න” යැයි නිවේදනයේ සඳහන්ය.

ජනාධිපතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජිවිතයේ වැදගත් අවස්ථාවන්ට එක්වන ලෙස එතුමාට ඇරැයුම් කරන බව එම නිවේදනයේ තව දුරටත් සදහන් වේ.