විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

මැයි 22, 2019

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරෙන පදක්කමකි.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසුව පදක්කම් ප්‍රදානය ආරම්භ කෙරිණි.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, එයට යුද හමුදා නිලධාරීහු 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීහු 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වූහ.

පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම්ලාභීන් සමඟ ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.