‘රථවාහන මංතීරු නීතිය’ ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩ්‍රෝන යානා වල සහාය

සැප්තැම්බර් 16, 2020

කොළඹ තදාසන්න ප්‍රදේශවල රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ගමනාගමන තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොළඹ, රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය කරමින් ඊයේ (15) සිට ඩ්‍රෝන මෙහෙයුම් වැඩසටහනක් දියත් කළේය.

රථවාහන මංතීරු නීතිය පිළිබඳව මෝටර් රථ හිමියන් දැනුවත් කිරීම සදහා පැවැත්වූ තෙදින විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අද (16) සාර්ථකව අවසන් විය.

මීට පෙර දියත් කිරීමට නියමිතව තිබූ මෙම වැඩසටහන කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අත්හිටවූ බවත්,කොළඹ ගමනාගමන තදබදය අවම කිරීම සඳහා මෙම වැඩසටහන නැවත හඳුන්වා දුන් අතරම බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමයද ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව, කොළඹ තදාසන්න ප්‍රදේශවල පොලිසිය සමඟ ඒකාබද්ධව කාර්යක්ෂමව රථවාහන කළමනාකරණය සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරයි.

අද (16) සිට ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන්ටද බස් ප්‍රමුඛතා මංතීරුව අනුගමනය කල යුතු බවට පොලීසිය විසින් උපදෙස් ලබා දී ඇත.

රථවාහන මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන්හට ඉදිරියේදී දඩ නියම කරන බව පොලිසිය පවසයි.