බූවැලිකඩ නායයෑමට ලක්වූවන් යුද හමුදාව බේරා ගනී

සැප්තැම්බර් 20, 2020

අද (20) උදෑසන මහනුවර බූවැලිකඩ හි සිදුවු නායයෑමකින් අනතුරුව සිරව සිටි  පුද්ගලයින් තිදෙනෙකු යුද හමුදා සෙබළුන් විසින්  බේරාගෙන තිබේ.

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටි බව යුද හමුදාව පවසයි.

එම සුන්බුන් අතර සිරව සිටි  ළදරුවෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙම බූවැලිකඩ නායයෑමෙන් හානියට පත් නිවාසවල පදිංචිකරුවන් යැයි විශ්වාස කෙරෙන තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවි සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මහනුවර ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්තවය මත කඳුකර ප්‍රදේශ හා අවට පාංශු ඛාදනය වී නායයෑම් අවධානමකට ලක්ව ඇති බව වාර්තා සඳහන් කරයි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයේ, 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 10 වන ගජබා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා රයිෆල් බලකායේ  භටපිරිස් විසින් මේ වනවිටත් මුදාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතී.