රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු විසඳීමේ සේවාවක් අනුරාධපුරයේදී

ඔක්තෝම්බර් 03, 2020
  • අනුරාධපුර පැවති උත්තම පූජා රණවිරු සුභසාධන ජංගම සේවාව මගින් රණවිරුවන් විශාල ප්‍රමාණයකට සෙත සැලසෙයි.
  • අනාගතයේදී රණවිරුවන්ගේ පවුල්වල ගැටළු විසඳීමට තවදුරටත් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් පවසයි.

අද දින (ඔක්තෝබර් 3) අනුරාධපුර සාලියපුරහිදී පැවති ‘රණවිරු ජංගම සේවයේ’ දෙවන අදියරේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් හා සම්බන්ධතාවයෙන් රණවිරුවන්ගේ ගැටළු වලට විසදුම් සැලසීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ “මහජන අංශයක්” ස්ථාපිත කරන බවයි.

“මෙම ගැටළු විසඳීම සඳහා මම පෞද්ගලිකව මැදිහත් වනවා” ඔහු අවධාරණය කළ අතර “ඔබේ ගැටළු අප වෙත රැගෙන එන්න, අපි ඔබ වෙනුවෙන් විවෘතව සිටිනවා” යැයිද පැවසීය.

“දිවයින පුරා සිටින රණවිරුවන් ගුණාත්මක තත්වයෙන් යුත් කෘතිම අත් පා ලබා ගැනීම සඳහා රාගම රණවිරු  සෙවන වෙත පැමිණෙන බව සඳහන් කරමින් “යුද්ධ හමුදාව විසින් ප්‍රාදේශීය වශයෙන් විසිරි සිටින ආබාධිත රණවිරුවන්ට ඒ හා සමාන පහසුකම් සලසා ගැනීම සඳහා අනුරාධපුර අභිමන්සලේද නව ඒකකයක් පිහිටුවනවා“ ඔහු පැවසීය.

“දිවයිනේ සෑම අභිමන්සලකම අපි ඒ හා සමාන පහසුකම් ඇති කරනවා” තදබදය අවම  කිරීම සඳහා මහනුවර තවත් හමුදා රෝහලක් ඉදිකරන බවද ඔහු පැවසීය.

‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ අභිප්‍රාය පැහැදිලි කරමින් “ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හට මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කරන ලෙස උපදෙස් ලබා දුන්නා” ඔහු පැවසීය.

‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ත්‍රිවිධ හමුදාවේ සේවා වනිතා සභාපතිනියන්ගේ දායකත්වය පිළිබඳව තවදුරටත් සිහිපත් කරමින් ඔහු පවසා සිටියේ, මීට පෙර සිදුකළ ආකාරය අනුව තේරීම් මණ්ඩලය සදහා ඔවුන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය වන බවයි.

මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා යුද්ධයේදී සිය ජීවිත හා අත් පා කැප කළ ඔබගේ ආදරණීය පුතාට, පියාට හෝ ස්වාමිපුරුෂයාට උපහාරයක් ලෙස පරිපාලන හා සුභසාධනය සම්බන්ධ ගැටළු විසඳීමට අපි අද ඔබ සැමට ආරාධනා කර තිබෙන බව මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේය.

ලබා ගන්නා ලද යුද ජයග්‍රහණය සිහිපත් කරමින් “එල්ටීටීඊයට එරෙහි ජයග්‍රහණයේ ගෞරවය බොහෝ දෙනෙකුට හිමි වුවද, තම දරුවන්ට සටන් බිමට එක්වීමට අවසර දුන් රණවිරුවන්ගේ දෙමාපියන් හට එහි ගෞරවය හිමි විය යුතුයි” ඔහු කියා සිටියේය.

අතිගරු ජනාධිපතිතුමන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව, අතීතයේ දී අවධානයට ලක් නොවූ මෙම උදාර වූ ‘උත්තම පූජා’ වැඩසටහන නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එහි වැදගත්කම කොපමණද යන්න විදහා දැක්වීමටද ආරක්ෂක ලේකම්තුමන් කටයුතු කරන ලදී.

ඔබගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අවස්ථාව උදා කරමින් ඊට අදාළ සියලුම රාජ්‍ය අංශයේ ආයතන හා ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයින් කැඳවා ඇති බව ඔහු පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් වන රණවිරු ජංගම සේවා සංකල්පය මගින් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පරිපාලන හා සුභසාධන ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට තිරසාර හා කඩිනම් විසඳුම් ලබා දීම අරමුණු කර ගෙන ඇත.

මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ, හෙළ රණවිරු බළමුළුවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරින්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.