2020 ඔක්තෝබර් 5 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් පැවත්වූ මාධ්‍ය හමුව

ඔක්තෝම්බර් 05, 2020

මාධ්‍ය නිවේදනය

2020 ඔක්තෝම්බර් මස 01 වන දින අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරන ලද වව්නියාව දිසාපති කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයේදී උත්සව සභාව අමතා කරන ලද කථාව

2020 ඔක්තෝම්බර් මස 01 වන දින වව්නියාව දිසාපති කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයේදී උත්සව සභාව අමතා කරන ලද කථාවේ අර්ථය විකෘතිකර පුද්ගලික මාධ්‍ය ජාලා සහ සමාජ ජාලා මගින් විකාශය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට ඉතා කඩිනමින් ක්‍රියාකරන බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ දින (2020.10.05) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් 2020.10.05 වන දින  සිදුකරන ලද සම්පුර්ණ ප්‍රකාශය පහත සඳහන් පරිදි වේ.

මා විසින් 2020.10.01 වන දින අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් එම අමාත්‍යාංශ ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති, වව්නියාව දිසාපති කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වන ලදී. ඒ සඳහා ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගිවී සිටින ලද අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන් මහතාද ඒ අතර විය.

එහිදී අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරන අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් එම උත්සව සභාව ඇමතීම සිදුකරන ලද අතර, එහිදී මා විසින් සිදු කරන ලද කතාවෙහි ඇතැම් කොටස් විකෘතිකර පුද්ගලික මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම තුලින් වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස මාගේ ප්‍රතිරූපයද සමස්ථයක් වශයෙන් රජය කෙරෙහිද ජනතා අප්‍රසාදය ඇතිකිරීමේ අසාර්ථක ක්‍රියාවලියක් ආරම්භකර ඇත.

එහිදී පුද්ගලික මාධ්‍ය ජාලා කිහිපයක් හා සමාජ මාධ්‍ය ජාලා මගින් වාර්ථා කර ඇති අන්දමට මා විසින් සිදුකරන ලද කථාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සඳහා ගුණවැයීමක් සිදුනොකල අතර, විනය ගරුක රාජ්‍ය නිලධාරියෙකු ලෙස කිසිදු දේශපාලඥයෙකුගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනතා සේවයට කැපවුන රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මා ප්‍රකාශ කර සිටිමි.
    
මාගේ සම්පූර්ණ කථාවට අනුව එම උත්සව සභාවෙහි ආරාධිතයෙකු වු වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාල්ස් මහත්මිය වව්නියාව දිසාපති වශයෙන් රාජකාරී කරන සමයෙහි, ඇය විසින් එම ප්‍රදේශයේ ජනතාව වෙත සිදුකරන ලද සේවා පිළිබද ඇගයීමක් සිදුකරන ලදී. ඒ අතර අවතැන්වු දෙලක්ෂ අනුහතර දහසක් නැවත පදිංචි කිරීම, එල්ටීටීඊ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් පුනුරුත්ථාපනය කිරීම හා බිම් බෝම්බ ඉවත්කිරීම වැනි ක්‍රියාවන්ට දායකත්වය දැක්වීම විශේෂයෙන් ඇගයීමට ලක්කරන ලදී.

ඒ සදහාද හේතු පාදක වූයේ එවකට මා වන්නි ප්‍රදේශය භාර ආඥාපතිවරයා වශයෙන් ඇය හා එක්ව ජාති, ආගම්, කුළ භේද නොසලකා උතුරේ ජනතාව වෙත සිදුකරන ලද, සේවය පිළිබදව ආවර්ජනය කර උත්සව සභාවේ සිටි අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගෙන්ද එවන් ආදර්ශමත් රාජ්‍ය සේවයක් සදහා කැපවන ලෙස ඉල්ලා සිටීමයි.

නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාල්ස් මහත්මිය සඳහා සිදුකරන ලද ප්‍රකාශයේ විශාල කොටසක් ඉවත්කොට එම කථාවෙහි තිබු වෙනත් ප්‍රකාශයක් හා සම්බන්ධකර සම්පුර්ණ විකෘති ප්‍රකාශයක් ප්‍රතිනිර්මාණය කර එය එක්තරා මාධ්‍ය ජාලයක් විසින් පෞද්ගලික මාධ්‍ය ජාලා හා සමාජ ජාලා ඔස්සේ විකාශනය කිරීමට ක්‍රියාකර ඇත.

එබැවින් ඉහත සඳහන් කල පරිදි පටු පුද්ගලික අරමුණු සාක්‍ෂාත් කරගැනීමට මෙවන් විකෘති ප්‍රකාශ සමාජගත කිරීම තුලින් අවංක රාජ්‍ය නිලධාරියෙකු ලෙස මා ගෙන යන වැඩපිළිවෙලට පහර ගැසීම හා ඒ තුළින් රජය අපහසුතාවයට පත්කිරීමට කටයුතු කිරීම මා ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.

තවද තිස්පස් වසරකට වැඩි නිකලැල් විනයගරුක යුධ හමුදා සේවයකට උරුමකම් කියන මා කිසිදු අවස්ථාවක, මාගේ පුද්ගලික සුඛ විහරණය සහ වාසි උදෙසා රට, ජාතිය හෝ මාගේ තනතුරු පාවාදී කටයුතු නොකරන බවට ප්‍රකාශ කර සිටිමි.

එමෙන්ම අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මෙන්ම වර්තමාන ආරක්ෂක  ලේකම් ලෙසද, මා වෙත අතිගරු ජනාධිපති උතුමාණන් විසින් ලබාදී ඇති වගකිම් නිසි පරිදි ඉටුකිරීමට කිසිදු පසුබටවීමක් සිදුනොකරන අතර, මෙවන් අශීෂ්ඨ සම්පන්න ක්‍රියාවන් තුලින් මාගේ චරිතය ඝාතනය කිරීමට හෝ රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට හැකියාවක් නොලැබෙන ආකාරයෙන් ඉදිරියේදී කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර සිටිමි. තවද මෙවන් ක්‍රියාවන් තුලින් ලබාගන්නා පන්නරය තුළින් පෙරට වඩා ශක්තිමත්ව මාගේ අමාත්‍යාංශයෙහි කටයුතු කරන බවට ප්‍රකාශ කර සිටිමි.(අවසානයි).