ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවල යෙදෙන්නන් පිළිබඳව විමර්ශන දිගටම

මැයි 17, 2019

වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ දිගටම සිදුවෙමින් පවතින අතර, මෙය පසුපස සිටින අයවලුන් සොයා ගැනීම සඳහා බුද්ධි අංශ විසින් ද වෙනම පරීක්‍ෂණ සිදුකරයි. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයන් හට පොලිසියට හෝ උසාවියට භාරවීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා ඇති අතර, අද (මැයි 16) දින ඇඳිරි නීතිය පැනවීමට කටයුතු නොකරනු ඇත. තවද, මෙම කඩාකප්පල් කාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන්නන් විසින් ඉදිරියේදී යම් රැකියාවකට යාම සඳහා හෝ වෙන මොනයම් කටයුත්තක් සඳහා හෝ පොලිස් සහතිකයක් ඉල්ලුම් කරන්නේ නම් එම පොලිස් සහතිකයේ මේ සබැඳිව සටහන් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය. මීට අමතරව, මෙම සැකකරුවන්ගේ රැකියා ස්ථාන වෙත ද මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැක පුද්ගලයෙකු බදාදා (මැයි 15) දින අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් රිස්වාන් නමැති මෙම සැකකරු වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය වසරවල මෙන්ම මෙවරද වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්‍ෂාව සැපයීම සඳහා පියවර ගනු ඇත. කොළඹට සහ අනෙකුත් නගරවලට පැමිණෙන ජනතාව සහ රථවාහන නියාමනය කිරීම සඳහා පොලීසියේ නිලධාරීන් යොදවනු ලැබේ.