‘දීඝවාපිය ස්ථූපයේ’ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල තැබීම හෙට (22) දින ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ

ඔක්තෝම්බර් 21, 2020
         

පූජනීය දීඝවාපී විහාරස්ථානයෙහි ප්‍රධාන නාහිමි මහඔය සෝභිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ‘දීඝවාපිය ස්ථූපයේ’ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් මස 22 වන දින දීඝවාපී පුදබිමෙහිදී සිදුකිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වේ.

 

 
ආරක්ෂක ලේකම් මෙන්ම, නැගෙනහිර පලාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ දායකත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිතය.
 
ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ පුරාවිද්‍යාත්මක උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයින් සහ එම වෘත්තිකයන්ගේ මඟපෙන්වීම යටතේ සිදුකෙරේ.
 
‘දීඝවාපිය භාර අරමුදල’ මගින් උපයන අරමුදල් මෙම ක්‍රියාවලිය වෙනුවෙන් යොදා ගන්නා අතර, ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන අනුග්‍රාහකයින් සහ ආගමික බැතිමතුන්ගේ දායකත්වය ඔස්සේ අරමුදල් රැස් කිරීමට අපේක්ෂා කෙරේ.
 
සොලොස්මස්ථාන අතර ප්‍රමුඛ පූජනීය ආගමික ස්ථානයක් ලෙස ප්‍රචලිත ‘දීඝවාපිය’නිසි අවධානයක් නොමැති වීම හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වෙමින් ඇති අතර, අතිගරු ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් සහ එම විහාරස්ථානයෙහි ප්‍රධාන නාහිමි මහඔය සෝභිත හිමියන්ගේ මඟපෙන්වීම ඔස්සේ මෑතකදී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මුලික පියවර ගන්නා ලදි.
 
මෑත අතීතයේ දී ‘දීඝවාපී’ ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වී  ඇති නමුත් අතිගරු ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පුරාණ විහාර භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි වසර 03 ක් ඇතුළත සිදුකර අවසන් කිරීමට සැලසුම් කර ඇත.
 
සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද ‘දීඝවාපී’බෞද්ධ විහාරස්ථානයේ ඉතිහාසය  ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති පුදබිමකි.

මෙම සුප්‍රසිද්ධ පූජනීය භූමිය ලක්වාසීන්ට පමණක් නොව, ලොව පුරා වෙසෙන බෞද්ධ ආගමික බැතිමතුන්ට ද වැදගත් පුජනීය ස්ථානයක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සමගාමීව එහි ඇති ඓතිහාසිකමය වැදගත්කම නිසාය.
 
දීඝවාපී විහාරස්ථානයෙහි නාහිමි මහඔය සෝභිත හිමියන් ප්‍රමුඛ ගරුතර මහ සංඝරත්නය, ආරක්ෂක ලේකම් මෙන්ම, නැගෙනහිර පලාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිතී චිත්‍රානි ගුණරත්න, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසනායක, ගිණිකොනදිග නාවික ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.