අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් රණවිරුවන්ට පරිත්‍යාග කෙරේ

ඔක්තෝම්බර් 24, 2020

රණවිරු සේවා අධිකාරියේ  සභාපතිගේ ඉල්ලීම පරිදි තනුජා විජේසිරි ඩයස් මහත්මිය සහ ඇගේ මිතුරන් විසින් ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදි.  

රණවිරු  සේවා අධිකාරියේ පශ්චාත් රැකවරණය හා පුනරුත්ථාපන අංශයේ ආබාධිත සහායක උපකරණ වැඩසටහන යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය, චීන තානාපති කාර්යාලය සහ හුවාවී ටෙක්නොලොජීස් (Huawei Technologies) සමඟ අත්වැල් බැඳගෙන මෙම පරිත්‍යාගශීලීන් නිරන්තරයෙන් පරිත්‍යාග කරන බව රණවිරු සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

ඒ අනුව රණවිරුවන්ට විශාල උපකරණ තොගයක් ලබාදී ඇති අතර, එයට රු. මිලියන 20 ක් වටිනා කෘත්‍රිම අත් පා 153 ක්, විද්‍යුත් ස්වයංක්‍රීය කෘතිම අත් 02 ක්, කෘතිම අත් 02 ක්, සාමාන්‍ය රෝද පුටු 60 ක්, විශේෂ රෝද පුටු 65 ක්, කිහිලිකරු 250 ක්, කිහිලිකරු යුගල 15 ක්, සායනික සපත්තු 20 ක්, සුදු සැරයටි 30 ක්, ඇස් කණ්ණාඩි යුගල 120 ක්, ශ්‍රවණාධාර උපකරණ 13 ක් ඇතුලත් අතර, විශ්ව විද්‍යාලයට තේරී පත්වූ රණවිරු දරුවන් දෙදෙනෙකුට ලැප්ටොප් පරිගණක 02 ක් ලබාදෙන ලදි.

රණවිරු සේවා අධිකාරිය ද එහි අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ සඳහා දායක විය.

චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් (Snr. Col. Wan Dong), චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක සම්බන්ධීකාරක කර්නල් වැන්ග්, හුවාවී  ටෙක්නොලොජීස් ලංකා (පුද්) සමාගමේ (Huawei Technologies Lanka Co. (Pvt) Ltd) ප්‍රධාන විධායක නිලධාරි ලියාං යී (Liang Yi) සහ හුවාවී ටෙක්නොලොජීස් ලංකා (පුද්) සමාගමේ (Huawei Technologies Lanka Co. (Pvt) Ltd) නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි රිකාඩෝ ෂියාඕ (Ricardo Xiao) යන නිලධෘරීන් විසින් පරිත්‍යාගයන් ඔක්තෝබර් 23 වන දින රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂ සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.