ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම

ඔක්තෝම්බර් 25, 2020

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ දින (24) පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය ඔක්තෝබර් 23ට  යෙදී තිබුණ අතර, ඒ හා සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව නිරාවරණය කරන ලදී.

ක්‍රි.පූ 200-210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස්ස රජතුමාගේ බාල සොහොයුරු උත්තිය රජු විසින්   මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිධන් කොට මිහිඳු මහා සෑය ඉදිකළ බව මහා වංශයේ සඳහන් වේ. මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ.

දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය අද ආරම්භ විය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට නියමිතය.

ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මිහිඳු මහ රහතන් වහන්සේ භාවනා කළ  බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව දෙසට දිවෙන ගල් පඩිපෙළ ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ආරක්ෂක ලේකම් මේජර් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරේ.

තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු හා ජනතා නියෝජිතයන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා ආරක්ෂක ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.