ඊයේ දිනට PCR පරීක්ෂණ 9,189 ක්

ඔක්තෝම්බර් 26, 2020

ඊයේ (25) හඳුනාගෙන ඇති කොරෝනා  වෛරසය ආසාදිතයින්  351 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා  වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7,872 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ සිද්ධීන් 4,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් 1,041 ක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

අද (26) වන විට හමුදා විසින් පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන 73 ක පුද්ගලයන් 8,421 ක් නිරෝධායනය වේ.

ඊයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 9,189 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 450,836 ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ ජාතික රෝහලේ දී ඊයේ රෝගියෙකු මියයාමත් සමඟ දිවයිනේ කොරෝනා  මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකින් තහවුරු වේ.

රෝගාතුර වූ රෝගියා රුධිර ආසාදනයකින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, සංකූලතා හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබෙන බව තවදුරටත් එහි සඳහන් වේ..

මොහු කොළඹ 02 හි පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.