ජනාධිපති තුමාගේ නබි නායක දින පණිවිඩය

ඔක්තෝම්බර් 30, 2020

ශ්‍රි ලංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමඟ සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.

මුහම්මද් තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජිවිත්වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය. අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට ගනිමින් උනුන් අතර වෛරය හා සැකය තුරන් කෙරෙන අයුරිනි.

පෙර නොවු විරූ ගැටලු රැසක් මතු කරමින් ලොව පුරා පැතර යන කොව්ඩ් -19 වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සංහතියම මුහුණ දී  අභියෝගයකට මුහුණ දී සිටී. මෙවන් කාලවකවානුවක ආගමික විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජිවත්වීම මානසික සහනය උදා කරයි. එසේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය, ජන කොටස් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගනු පිණිස නබි නායකතුමාගේ චරිතයෙන් උකහා ගත් යහ ධර්මයන් අප විසින් සමාජ ගත කළ යුතුව තිබේ.

නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරිමේ අධිෂ්ඨානයෙන් ඉස්ලාමීය බැතිමතුන් අත්වැත් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.

ශ්‍රි ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මෙන්ම  ලෝකවාසී මුස්ලීම් ජනතාවට ප්‍රීතිමත්  මිලාදුන්  නබි දිනයක් ප්‍රාර්ථනා ක‍රමි.

 

ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රි ලංකා රජයේ ජනාධිපති

 


 

උපුටා ගැනීම - http://www.pmdnews.lk