කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උපරිම බලය යොදා ගනී

මැයි 15, 2019

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී. නීති විරෝධී රැස්වීම් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පාලනය කිරීම සඳහා දිවා රාත්‍රී භේදයකින් තොරව හෙලිකොප්ටර් යානා පවා යොදවා ගැනීමට කටයුතු කරන ලෙස ගුවන් හමුදාපතිතුමන් උපදෙස් ලබාදී ඇත. තවද, මෙවැනි අවස්තාවලදී නීතිමය කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි වෙනුවෙන් චායාරූප ලබාගැනීම සඳහා දැනටමත් හෙලිකොප්ටර් යානා යොදා ගන්නා අතර, හදිසි අවශ්‍යතාවයන් සඳහා භටපිරිස් ඉතා කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා ද හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට කටයුතු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ඊයේ (මැයි 14) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඊයේ පස්වරුවේ කුරුණෑගල, නිකවැරටිය, මිනුවන්ගොඩ, වාරියපොල, කුලියාපිටිය හා හලාවත ප්‍රදේශවල පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවීමට හේතුවුයේ පටු අදහස් දරන කණ්ඩායම් කිහිපයක් විසින් වගකීම් විරහිතව ක්‍රියාකිරීම හේතුවෙණි. මෙය ආගමික හෝ වාර්ගික ගැටලුවක් නොවේ. ඉහත සඳහන් කළ ප්‍රදේශවල යම් යම් දේපල හානි වාර්තා වුවද, පොදු ජනතාවගේ ආරක්ෂාව උදෙසා මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නිතිය පනවන ලදී. මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව උපරිම පොලිස් බලය යෙදවීමට අවශ්‍ය ලිඛිත උපදෙස් පොලිස් මුලස්ථානය විසින් සියලුම ජේෂ්ඨ පොලිස් නිලධාරින් වෙත ඊයේ රාත්‍රියේදී නිකුත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාළ ප්‍රදේශවල සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතී. මිනුවන්ගොඩ සිද්ධිය සම්භන්ධයෙන් ඊයේ (මැයි 13) රාත්‍රී වනවිට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියටම සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනෙකු අද (මැයි 14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් 14 දෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. හදිසි නීති රෙගුලාසි යටතේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම සැකකරුවන් අදාළ සිද්ධියට වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් අවුරුදු 10 ක සිරදඬුවම් නියම කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වයඹ පළාත තුළ ඇඳිරි නිතිය කඩකිරීම සහ නොසන්සුන්කාරී තත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතුරින් හෙට්ටිපොල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත සැකකරුවන් 9 දෙනෙකු සහ කුලියාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත සැකකරුවන් 10 දෙනකු අදාළ ප්‍රදේශ වල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීමට සහ දේපල වලට අලාබහානි කිරීමට ඉඳුරාම සම්භන්ධ බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අදාළ ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලිස් අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන්ද අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ සිදුවීම සම්භන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පොලිස් මුලස්ථානයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් වයඹ පළාත වෙත අනුයුක්ත කිරීමට පොලිස් මිලස්තානය කටයුතු කර ඇත. පොදු ජනතාව තුල භීතිය ඇතිවන් ආකාරයේ සහ ජාතින් අතර සංහිඳියාව බිඳවැටෙන ආකාරයේ වැරදි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන පුද්ගලයන් හඳුනා ගැනීමට හා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ පොලිස් ඒකකයක් පොලිස් මූලස්ථානය පිහිටුවා තිබේ. මේ අතර සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කල සැකකරුවන් 3 දෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී. අදාළ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නාමල් කුමාර වරකාපොලදීත්, අමිත් වීරසිංහ තෙල්දෙණියේදීත් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නකිරිම සඳහා සොයමින් සිටි ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ භාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.