යුද හමුදාව මහා පරිමාණ ‘යෝගට්’ නිෂ්පාදනය අරඹයි

නොවැම්බර් 20, 2020

ශ්‍රී ලංකා යුධ හමුදා පාබල ඒකකය විසින් පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදාව, නිලධාරීන්, සෙසුනිලයින්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරනු ලබයි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ඒකකය ඒවායින් සමහරක් සඳහා දායකත්වය ලබාදෙයි.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටා ඇති සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ සුභසාධක වෙළඳසැල් වෙතද බෙදාහැරීමට අපේක්‍ෂා කෙරෙන මෙම  ‘යෝගට්’, ‘යෝගට් පානය’ සහ තවත් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් නිෂ්පාදනය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ලබාදුන් උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනුජා ජයවීර මහත්මියගේ අධීක්‍ෂණය මත ක්‍රියාවට නැංවූ මෙම නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරිම සඳහා බස්නාහිර පළාත් කිරි නිෂ්පාදන සංවර්ධන මණ්ඩලයේ අංශ‍ ප්‍රධානි ආචාර්ය දේවිකා ගමගේ මහත්මියගේ දායකත්වය හිමි විය.

ආඥාපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර), ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සෙසුනිලයින් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

Sinhala.