ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් ‘හුස්ම දෙන තුරු’ජාතික වැඩසටහන බත්තරමුල්ල දී ආරම්භ කරන ලදි

නොවැම්බර් 21, 2020

‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදාව විසින් ඉදිකරන ලද ඇවිදින මංතීරුව ආසන්නයේ සඳුන් පැලයක් රෝපණය කරන ලදි.

මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ජනාධිපතිවරයාගේ ‘සෞභාගයයේ දැක්ම‘ වැඩසටහනට අනුව රට පුරා පැල මිලියන 2 ක් සිටුවීම සහ වනාන්තර ආවරණය සියයට 30 කින් වැඩි කිරීම අරමුණු කර ගනිමින් මෙම වන වගා කිරීමේ නව ජාතික ව්‍යාපෘතිය දියත් කරන ලදි.

මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව පාසල් සිසුන් පිරිසකට තම පාසල් පරිශ්‍රය හරිත පරිසරයක් බවට පරිවර්තනය කිරීම සඳහා පැළ තොගයක් ලබාදෙනු ලැබීය.

පරිසර ඇමති මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්, ගුරුවරුන්, පාසල් සිසුන් සහ ආරාධිතයින් ඇතුළු පිරිසක් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මෙම අවස්ථාව සඳහා එක් වූහ.

පරිසර හිතකාමී හරිත ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් වනාන්තර විනාශය නැවතීම හා රට අලංකාර කිරීමේ ජාතික මෙහෙයුම පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ජයවර්ධනපුරයේදී හමුදා මූලස්ථානය අවට මධ්‍යම පරිසර අධිකාරිය සමඟ ආරම්භ කරන ලදී.

දිවයින පුරා ඇති සියලුම හමුදා කඳවුරු මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට ක්‍රියාකාරීව කැපවී සිටිති.