බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

නොවැම්බර් 22, 2020

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන ප්‍රදේශයක්  දක්වා වරධනය ඇති වී ඇති බවත්, ඉදිරි පැය 24-48 තුළ එය තවදුරටත් අවපාතයක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 22) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන්වේ.

එය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති අතර, නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැක.

නැගෙනහිර, උතුරුමැද සහ ඌව   පළාත්වල සහ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල ගිගිරුම් සහිත වැසි හෝ  වැසි අපේක්ෂා කළ හැකිය.

මධ්‍යම හා සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සහ සවස 2.00න් පසුව කළුතර, ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල ද  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි ඉහත සඳහන් සමහර ස්ථානවලින් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා අදාල පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

අඩු පීඩන ප්‍රදේශය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ 05N-12N සහ 80E-90E අතර මුහුදු ප්‍රදේශවල වරින් වර වැසි / ගිගුරුම් සහිත වැසි, තද හෝ ඉතා තද සුළං සහ රළු හෝ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කාලගුණ වාර්තාව පවසයි.

ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.

සමුද්‍රීය කාලගුණ වාර්තාවේ සඳහන් වන්නේ ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා මඩකලපුව හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල ඇතැම් විට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයින අවට ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල මද  වැසි  ඇතිවිය හැකිය.

දිවයින අවට මුහුදු ප්‍රදේශය සාමාන්‍ය විය හැකිය. කොළඹ සිට කන්කස්තුරේ  දක්වා මන්නාරම හරහා  විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිගින් වේ.

සුළං වේගය පැයට කිලෝමීටර 30-40 අතර වේ. සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං පැ.කි.මී. 70-80 දක්වා සහ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකිය.