වන විනාශය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් - ආරක්ෂක ලේකම්

නොවැම්බර් 25, 2020
  • ඉඩම් කොල්ලයන්ට සම්බන්ධ පුද්ගලයින් සොයාගැනීමට විශේෂ ඒකකයක්

නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් හා දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.

“මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති අතර එබැවින් එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් යානා  භාවිතා කරමින් අධීක්ෂණය කරන බව ”, ඔහු පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන්  අමතමින් ආරක්ෂක ලේකම්වරයා “අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි” යනුවෙන්   නාරාහේන්පිට පිහිටි  අභ්‍යන්තර ආරක්ෂක , ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී  අද දින (නොවැම්බර් 25) පවසා  සිටියේය.

වන සම්පත් අඩුවීමට තුඩු දෙන පරිසර විනාශයට පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සහ ඊට එරෙහිව  කටයුතු කරන ලෙස ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් / දිසාපතිවරුන්ගෙන්  ඉල්ලා සිටියේය.

මෑතදී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම්වල වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.

දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම බෝවන කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය පැසසුමට ලක් කරමින් ඔහු කියා සිටියේ අවම වශයෙන් වෛරසය ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් තම ප්‍රදේශවලට වෛරසය පැතිරීම සීමා කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇති බවයි.

“මේ අතරම , වෛරසය ආසාදිත ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය  හුදකලා කළ පවුල් සඳහා පහසුකම් සපයන අතරම පැතිරීම පාලනය කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා”, ඔහු තවදුරටත් පැවසීය.

වසංගත පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන් විසින් රාජ්‍ය බලධාරීන්ගෙන් සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබාගෙන  කඩිනම් පියවර ගෙන ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් මෙහෙයවන ලද යාන්ත්‍රණය මගින් ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා අනපේක්ෂිත වියදම් දැරීමට සිදු වූ බව සඳහන් කරමින් ඔහු පැවසුවේ පිටස්තර පුද්ගලයින් සමඟ සම්බන්ධතා සඳහා ඉඩ නොදෙන බැවින් අදාළ ප්‍රාදේශිය රාජ්‍ය බලධාරීන් විසින් ස්වයං නිරෝධායනය වන පවුල්වලට ඔවුන්ගේ ආර්ථික පසුබිම නොසලකා පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙස නාවික හමුදාවේ කඳවුරු තුළ මීට ඉහතදී ඇති වූ වෛරස් පොකුර සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ , “බෝගම්බර බන්ධනාගාරයේ පැතිර ඇති වෛරසය නාවික හමුදාව මෙන් බාහිර ප්‍රජාවට නිරාවරණය නොවූ හෙයින් එය මේ වනවිට පාලනය කර තිබෙනවා” යනුවෙනුයි .

රැස්වීමේදී වැඩිදුර අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් / දිසාපතිවරුන්ගෙන්  ඉල්ලා සිටියේ අනවශ්‍ය සංචරණයන් සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය  මාර්ගෝපදේශ පිළිපැදීමට පුරවැසියන් දැනුවත් කරන ලෙසයි.