සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ

මැයි 09, 2019

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ. අප්‍රේල් මස 22 වන දින එම කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අංක 2 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මැයි මස 06 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි. මැයි 06 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් හට ඇප ලබා දෙන ලදී. වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන්ගේ කිසියම් වැරදීමක් හෝ නොසැලකිල්ලක් හේතුවෙන් මෙම සැකකරුවන් හට ඇප ලැබුනේදැයි සෙවීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. විශේෂ විමර්ශන ඒකකයේ පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව වැල්ලම්පිටිය පොලිසිය විසින් මේ සබැඳිව යම් අතපසුවීමක් කර ඇත්නම් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

මේ අතර, බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදාගැනීම සඳහා එම පොලිස් ස්ථානාධිපති වෙත අල්ලස් මුදලක් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු බදාදා (මැයි 08) දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති විසින් ඉහල නිලධාරින් වෙත සිදුකරන ලද දැනුම් දීමකට අනුව අත්අඩංගුවේ පසුවන සැකකරුගේ ඥාතියෙකු වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොච්චිකඩේ සිදුවූ සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්‍ෂණ කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකඟතාවයකට පත්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඒ පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයන් විසින් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බවත් පොලිසිය පවසයි. මීට පෙර ප්‍රදේශයේ ජිවත් වූ පරිදි සාමකාමීව, ආගමික හා වාර්ගික සංහිඳියාවක් සහිතව ජීවත්වීම පොදු ජනතාවගේ අවශ්‍යතාවය සහ අපේක්‍ෂාව වේ. කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ බදාදා (මැයි 08) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

පැලවත්ත සීනි කම්හලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO), ඔහුගේ රියදුරු සහ තවත් සේවකයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසු ඔවුන් සන්තකයේ තිබු වෝකි ටෝකි යන්ත්‍ර පහක්, ප්‍රභූ ආරක්‍ෂක ඒකකයේ නිල ඇඳුම් වලට සමාන නිල ඇඳුම් කිහිපයක්, රථවාහන පොලිසිය භාවිතා කරන අත්වැසුම් හතක් සහ රථවාහන හැසිරවීමට යොදාගන්නා විදුලි සංඥා උපකරණ තුනක් ද සොයාගෙන ඇත. සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට එරෙහිව කරන ලද උද්ඝෝෂණයක් හේතුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී. බුත්තල පොලිසිය විසින් සැකකරුවන් පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

මෙම මාධ්‍ය හමුව හමුදා මාධ්‍ය ප්‍රකාශක හා කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.