ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මහර බන්ධනාගාරයේ ඊයේ දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

නොවැම්බර් 30, 2020

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මහර  බන්ධනාගාරයේ ඊයේ (2020  නොවැම්බර් 29) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

සිරකරුවන් කිහිප දෙනෙකු ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් බන්ධනාගාර භූමියෙන් පැන යාමට උත්සාහ  කළ බව වාර්තාවීමෙන් පසුව මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් විශේෂ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ආරක්‍ෂක ලේකම් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පළමුව බන්ධනාගාර නිලධාරීන් මෙම තත්වය සමනය කිරීමට සම්බන්ධ විය. කෙසේ වෙතත්, සිද්ධිය දැඩි කෝලාහලයකට තුඩු දීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට කැඳවා ඇත. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ බන්ධනාගාරයේ පිටත ප්‍රදේශයේ ආරක්‍ෂාව ද තර කර තිබේ.

නොසන්සුන්තාවයට පත් රැඳවියන් විසින් බන්ධනාගාර සෞඛ්‍ය කාර්යාලයට සහ ගබඩාවලට  ගිනි තබා ඇති අතර එය අද (30) උදෑසන වන තෙක් ගිනිගෙන  ඇත. මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා ඇති බවත් බන්ධනාගාර මෙහෙයුම් නැවත ආරම්භ කළ බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.