සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එහි පෙර තිබූ කීර්තිය ලබා ගනිමින් සිටිනවා - ආරක්ෂක ලේකම්

දෙසැම්බර් 07, 2020
  •  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී තර්ජනයට ලක්වූ ගම්මාන ආරක්ෂා කළා.
  •  පශ්චාත් යුධ සමයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජාතිය ගොඩනැගීම ඉටුකලා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එහි පෙර තිබූ  කීර්තිය නැවත ලබා ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

නැවතත් එම ආයතනය මගින් වඩා වැඩි  කාර්යභාරයක් කිරීමේ අපේක්ෂාවෙන් ජාතියට ඵලදායි ආරක්ෂක භූමිකාවක් සදහා හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතාව ද නැවත සේවයට කැඳවන ලදී.

2016 වසරේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නිලධාරී තුමන් යුධ හමුදා රාජකාරියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයින් සදාචාර විරෝධී රාජකාරි සඳහා යොදා ගැනීම මාධ්‍ය තුලින් අනාවරණය වූ බව එතුමන් ප්‍රකාශ කර සිටි අතර දෙපාර්තමේන්තුව ද එම කාල වකවානුවේදී අක්‍රමිකතා සහිත වැඩවල නිරත වීම කනගාටුවට කරුණක් බව ඔහු පැවසීය.

පශ්චාත් යුධ සමය තුළ එහි පෙර කීර්තිය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, යුද්ධය සාර්ථකව නිමා කිරීමත් සමඟම, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ශක්තිය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගත් බවයි.

සටනේදී ඔවුන්ගේ දායකත්වය ඉමහත් බව සිහිපත් කල ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසූයේ  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය ත්‍රස්ථ තර්ජනයට ලක්වූ මායිම් ගම්මාන, පූජනීය ආගමික ස්ථාන සහ අහිංසක ගොවි ප්‍රජාව ආරක්ෂා කළ අතර යුද කලාපවලට  අපගේ යුද හමුදාව යෙදවීමට ඔවුන් අපට ඉඩ සැලස්වූ බවයි.

ඊයේ (දෙසැම්බර් 6) දින ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවකයින්ගේ  දූ දරුවන් සඳහා පාසල් පොත්පත් සහ පරිගණක උපකරණ ප්‍රදානය කිරීම  සඳහා සංවිධානය කරන ලද උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව  ප්‍රකාශ කර සිටියේය.

විශිෂ්ට ලෙස විභාග සමත් වූ  සිසුන්ට පාසල් ලිපිද්‍රව්‍ය, ලැප්ටොප් පරිගණක සහ මූල්‍යමය  ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ  සභාපතිනි  කුමුදිනි පීරිස්ගේ මඟ පෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

තරුණ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදී 1980 දශකයේ මතකයන් අවදිකරමින්  මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසූවේ, දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න යන නිලධාරීන් දෙදෙනාම මෙහෙයුම් රාජකාරි සඳහා වැඩි භට පිරිසක් යෙදවීමට අපේක්ෂා කල නමුත් එවකට අප පිරිස් බලය අවම හමුදාවක් වූ බැවින් ත‍්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් සහ නව විධික‍්‍රම සොයා ගැනීමට සිදු වූ බවත් ය.

මේ අතර “මායිම්  ගම්මානවලට පහර දෙමින් ත‍්‍රස්තවාදීන් අපට එරෙහිව ‘බලය වැඩි කිරීම’ යන උපක්‍රමය ක්‍රියාත්මක කළහ” යැයි පවසමින් ඔහු තවදුරටත් කියා සිටියේ “ගම්වැසියන් ආරක්ෂා කිරීම සඳහා මම ද මගේ හමුදා කණ්ඩායම් රැගෙන එවැනි ප්‍රහාර එල්ල කරන ස්ථාන කරා ගියා” යනුවෙනි.

 “අපට ඔවුන්ගෙන් කිහිප දෙනෙක් බේරා ගැනීමට හැකි වුවද, අසරණ දුප්පත් ගම්වැසියන්ගේ වටිනා ජීවිත අහිමිවීම මම සියැසින් දුටුවෙමි. ඔවුන් තවත් මායිම් ගම්මාන කිහිපයකට දිගින් දිගටම මෙලෙස පහර දුන් බැවින් එම ගම්වලටද  ආරක්ෂාව සඳහා හමුදා භට පිරිස් යෙදවීමට සිදුවූවා” ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

තර්ජනයට ලක් වූ ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සොල්දාදුවන් නොමැති වූ හෙයින් එම ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා රජය ග්‍රාමාරක්ෂක භටයින් බිහි කල බව ආරක්ෂක ලේකම්වරයා මතකය අවදිකලේය. “පසුව අභියෝගාත්මක උත්සාහය වූයේ වඩාත් කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළහැකි බලවේගයක් බවට  මෙම ග්‍රාමාරක්ෂකයින් පත් කිරීම” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු විසින් රචිත මුල් කෘතිය වූ ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ යන ග්‍රන්ථය උපුටා දක්වමින් කියා සිටියේ “ඔවුන්ව පුහුණු කිරීමට ගත් දැඩි උත්සාහයන් සහ පසුව එළඹි ඔවුන්ගේ ජයග්‍රහණයන් සඳහා වෙනමම පරිඡේදයක් වෙන්කලා” යනුවෙනි.

මෙම ග්‍රාමාරක්ෂක භටයින් ප්‍රතිසංවිධානය කර ග්‍රාමාරක්ෂක කටයුතු සඳහා යොදාගනු වස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ වත්මන් ජනාධිපතිවරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

පසුව සිදුකරන ලද ප්‍රතිසංවිධාන කටයුතු සමඟ අද අප දකින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙසට පරිවර්තනය කර ඔවුන්ට නිල ඇඳුමක් සහ වඩාත් හොඳ අවියක් ලබා දී  එය ත්‍රිවිධ හමුදාවන්ට ඉමහත් සහයෝගයක් ලෙස ත්‍රස්තවාදීන්ට එරෙහි නිර්භීත බලවේගයක් බවට පරිවර්තනය කල බව ඔහු සිහිපත් කළේය.

ගම් ආරක්ෂාව සඳහා යොදවා සිටි සියලුම භටයින් නැවත මෙහෙයුම් ප්‍රදේශවලට අන්තර්ග්‍රහණය කල අතර එය හමුදාවට ඉමහත් සහනයක් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ලේකම් ධුර කාලය තුළ සිවිල් ආරක්ෂක බලකාය ලෙස ප්‍රතිව්‍යුහගත කරන ලද අතර දැන් එය ජාතියට පරිපූර්ණ සේවාවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසානයේදී ඔවුන් තම රාජකාරිය හමුදාවට සමානව ඉටු කළ අතර ඔවුන්ගේ ගම්මාන ආරක්ෂා කිරීම සඳහා කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ජයග්‍රාහී ලෙස සටන් කළ  බවද ඔහු සඳහන් කලේය.

මෙහිදී සංවිධානය කරන ලද උත්සවය පිළිබඳ සඳහන් කරන ලද එතුමන්, සිසු සිසුවියන් සඳහා මෙවැනි ඵලදායී අවස්ථාවන් සංවිධානය කිරීම පිළිබඳව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ  සභාපතිනි  කුමුදිනි පීරිස් මහත්මිය වෙත සිය කෘතඥතාව පළ කළේය.

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගවලින් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට මූල්‍ය ප්‍රතිලාභ සහිත ත්‍යාග මෙම අවස්ථාවේදී පිරිනමන ලදී. තවද, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් හට පොත්, ලැප්ටොප් පරිගණක සහ මූල්‍ය ප්‍රතිලාභ ද මෙම සැසිවාරයේදී ප්‍රදානය කරන ලදී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගෙතැන්න, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ සිසුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.