ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්

ජුලි 10, 2019

ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.

ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතිඥ ජාවිඞ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු කටයුතු කරති.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහි දී ජනාධිපතිතුමා සඳහන් කළේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

මේ අතර ජනාධිපතිතුමා අද දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය. ඒ සිය පුතණුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහායි.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය